සෞඛ්‍ය ලේකම් අක්ෂි කාචවලිනුත් හොරා කාලා- පැමිණිල්ලක්.

අක්ෂි කාච මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී එක් සමාගමකට වාසි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා , අදාළ සමාගම විසින් ඉදිරිපත් කරන ලද විශේෂ අභියාචනාවල පාද සටහන් යොදා කටයුතු කර ඇතැයි චෝදනා කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානය හා අල්ලස සහ දූෂණය නාස්තියට එරෙහි ජාතික පෙරමුණ ඊයේ (02) පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ .

අක්ෂි කාච ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මිල දී ගැනීම සඳහා වූ මෙම ප්‍රසම්පාදනයේදී රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය කෙරෙන බවත් , ඒ හේතුවෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කරන ලෙසත් එම සංවිධාන සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ .

අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මිලෙන් අඩු ලංසු ලබාදුන් සමාගම්වල සාම්පල ලබා ගැනීමට පවා අවස්ථාව නොදී මිලෙන් වැඩි ලංසු ඉදිරිපත් කළ සමාගම්වලට වාසි සහගත ලෙස කටයුතු කළ බවත් , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීම පැහැදිලි අක්‍රමිකතාවක් වන බැවින් චන්ද්‍රගුප්ත මහතා වහා ම ධූරයෙන් ඉවත් කොට පරීක්ෂණ පවත්වා මූල්‍ය අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවත් එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version