දඩයමේ ගිය සැරයන් අත්අඩංගුවට .

ඉස්සෙන්නෑව රක්ෂිතයේ රාත්‍රී දඩයමේ ගිය පොලිස් සැරයන්වරයකු සහ තවත් දෙදෙනකු වාහල්කඩ පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

එම අවස්ථාවේ දී අදාළ පොලිස් නිලධාරියා සන්තකයේ T56 වර්ගයේ රාජකාරී ගිනි අවිය තිබී ඇති අතර එය ද පොලිස් භාරයට ගෙන තිබේ .

වාහල්කඩ පොලීසියේ ස්ථානාධිපති යටතේ , පොලිස් නිළධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී අදාළ සැකකරුවන් ගිනිඅවිය ද සමඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .

පොලිස් මුරපොළේ රාජකාරියේ යෙදී සිටි අදාළ පොලිස් සැරයන්වරයා ඉස්සෙන්නෑව ප්‍රදේශයේ හේන් රකිමින් සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා හමු වී සතෙකු මරා මස් පිණිස විකිණීමට රාජකාරී ගිනි අවිය ලබා දී පැල්පතක් තුළ නිදාසිටි බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

මෙම පොලිස් නිලධාරියා මොරවැව පොලීසිය යටතේ ඇති රොටවැව පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කර ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා 50 හැවිරිදි වියේ පසුවන වාහල්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Exit mobile version