කාර්යාල දුම්රිය අද පස්වරුවේ ධාවනය කෙරේ .

අද (05) පස්වරුවේ කාර්යාල දුම්රිය හැකි උපරිම අයුරින් ධාවනය කරන බවත් , දුම්රිය ධාවනය හෙට (06) උදෑසන සිට යථාතත්වයට පත්වනු ඇති බවත් වර්ජනය සිදු කළ නියාමක වෘත්තිය සමිති ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඊයේ (04) දිනයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වන මීනගයා දුම්රිය සහ ගාල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රි දෙක පමණක් අවලංගු කර තිබූ අතර සෙසු තැපැල් දුම්රියන් නියමිත පරිදි ධාවනය විය .

දුම්වැටියක් සම්බන්ධ සිද්ධියක් මුල් කරගනිමින් එම අංගනයේ උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහර දීමේ සිද්ධියක් මුල් කරගනිමින් නියාමකවරුන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබීය.මෙම ගැටලුව විසඳීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) දහවල් දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක්ද පැවති අතර එය අසාර්ථක වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා සඳහන් කරන ලදී .

මෙලෙස දුම්රිය ප්‍රමාද වීම නිසා ඇතැම් දුම්රිය ස්ථානවල මගීන් දුම්රිය ස්ථානාධිපතිවරුන් සමඟ කලහකාරී ලෙස හැසිරුණු අතර දෙහිවල , බම්බලපිටිය , මරදාන යන දුම්රිය ස්ථාන වල ප්‍රවේශපත් නිකුත් කරන නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන් ඉවත් කිරීමට ද පියවර ගනු ලැබීය. පසුව කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලට පොලිස් සහ හමුදා ආරක්ෂාව සැපයීමට කටයුතු කරනු ලැබීය .

Exit mobile version