“රෝහල්වල ලෙඩුන් මිය යනවා කියා විපක්ෂය සතුටින්” – ප්‍රසන්න රණතුංග

“ඉස්පිරිතාලවල අම්මලා, ළමයි මැරෙනවා කියල විපක්ෂය කාලකණ්ණි සතුටක් ලබන” බවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අද (20) සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී සිදුවූ සංවාදය මෙසේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –

“ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන මෙම ප්‍රශ්නය පිළිබඳව තාක්ෂණික පිළිතුරු දෙන්නෙ නැතුව මේක පිළිබඳව සංවේදි වෙන්න කියලා. අම්මලගෙ, දරුවන්ගෙ පුරවැසියන්ගේ ජීවිත අනතුරේ.”

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස (ශ්‍රී.පො.පෙ) –

“මම නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. නුවරඑළිය රෝහලේ දහ දෙනෙකුගේ ඇස් අන්ධවීම කියන එක සුළු කාරණයක් නෙවෙයි. අපිට ජනතා බලාපොරොත්තු අවමයක්වත් ඉටු කරන්න බැහැ. එවැනි තත්ත්වයක් යටතේ සෞඛ්‍ය කේෂ්ත්‍රය බිඳ වැටෙනවා. ඒ වගේම වෛද්‍යවරු රට යනවා. මේ තත්ත්වය තුළ මිනිස්සු අපෙන් අහනවා පාර්ලිමේන්තුවේ ඉඳගෙන මොනවද කරන්නෙ කියල. ඒ නිසා බිඳ වැටෙන සෞඛ්‍ය කේෂ්ත්‍රය ආරක්ෂා කරගන්න අපි මීට වඩා වැඩි අවධානයක් දෙන්න ඕන.”

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) –

“ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සෞඛ්‍ය ප්‍රශ්න ගැන මෙතන දිගටම කතාවෙනවා. අම්මලා, ළමයි මැරෙනවා කිය කිය විපක්ෂය කාලකණ්ණි සතුටක් ලබනවා. අපි  මේව ගැන ඇමතිතුමා සභාවට ආවම කතාකරමු.”

Exit mobile version