සුව ඇමතිට එරෙහි විශ්වාසභංගයට විපක්ෂයේ සහය අද සිට.

කෙහෙළිය බිලි දී ආණ්ඩුව ගැළවෙයිද?

සජබ හා ජාතික ජනබලවේගය එකම මතයකට එයිද !

සජබ තීරණය අද පස්වරුවේ!

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත්  කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඊයේ කොළඹ දී (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ඒ සඳහා විපක්ෂයේ සහායෝගය ලබාගැනීමේ කටයුතු අද (17) සිට ආරම්භ කරන බවද  මුජිබර් රහුමාන් මහතා පැවසීය.

“අපි මේ යෝජනාව ගෙන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාට විතරක්ම නෙමේ. රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුවට විරුද්ධව. මොකද කැබිනට් එකම මේකට වගකියන්න ඕනේ. හෙට ඉදන් එකේ සහයෝගය ගන්න පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම විපක්ෂය සහ සමහර ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් ඉන්නවා ඒ සියලුදෙනා එක්ක සාකච්ඡා පටන් ගන්නවා.”

එමෙන්ම අද පැවති මාධ්‍ය හමුවක දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ආණ්ඩුවට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවය.

“සෞඛ්‍ය අමාත්‍යවරයා මින් ඉවත්කොට වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙම ජීවතවලට වන්දි ගෙවන්න ඕනේ. මොකද මා දැක්කා කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියනවා ඇස් අන්ධ වූ අයට වන්දි ගෙවනවා කියලා. ඇස් දෙකට වන්දි ගෙවන්න පුළුවන් ද? ඇස් දෙකක ට ගෙවන්න පුළුවන් වන්දිය මොකක්ද ? ඇස් දෙකකට ගෙවන්න පුළුවන් වන්දිය පෙනීම විතරයි. එතනින් එහා වන්දියක් නෑ. මේ උද්ධච්ච, ජනතාවගේ ජීවිත පිළිබඳ පයිසයකට මායිම් කරන්නේ නැති පාලකයන් පලවා හරින්න ඕනේ. ඒ නිසා කෙහෙළිය රඹුක්වැල්ලට පමණක් නොවේ මේ ආණ්ඩුවටත් විශ්වාසභංගයක් ගෙන්න ඕනේ.”

මේ සම්බන්ධයෙන් මහනුවර දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  මහතා පැවැසුවේ විශ්වාසහංගය මුහුණ දීමට තමන් සූදානම් බවයි . ඇමති කම් අත් හැරීමට අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක ඊට තමන් සූදානම් බවද බොරු චන්ඩින්ට බියේ තමන් කරගෙන යන කටයුතු කිසිලෙසකින්වත් අත් හැරීමට සූදානම් නැති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය .

මුජිබර් රහුමාන් මහතා එසේ පැවැසුවද සමගි ජනබලවේගයේ මහනුවර ජ්‍යොෂ්ඨ නායකයන් කෙහෙලිය රබුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසහංග යෝජනාවක් ගෙන ඒමට ඒ තරම් කැමැත්තක් නොදක්වන අතර ඔවුන් පවසන්නේ සමස්ත ආණ්ඩුවට එරෙහිව විශ්වාසහංග යෝජනාවක් ගෙන ඒම වඩාත් උචිත බවයි .

( සරත් සමරනායක )

Exit mobile version