බිරිඳගේ දෝෂාරෝපණයට ලක් වූ පොලිස් සැරයන් වස පානය කරයි.

සියදිවි නසා ගැනීමට කෘමි නාශක පානය කිරීමෙන් පසු පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ඊරිගේඔය ප්‍රදේශයේ බස් නැවතුම්පලක වැටී සිටි පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ පොළොන්නරුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකි.

හබරණ පොලිසියෙන් මේ සම්බන්ධව විමර්ශන සිදු කිරීමේ දී හෙළි වී ඇත්තේ පොළොන්නරුව පොලිසියේ සිට පොළොන්නරුව අධිවේගී මාර්ග ආරක්ෂා කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලැබීම සම්බන්ධව සිය බිරිඳට දුරකථනයෙන් පැවසීමෙන් අනතුරුව ඇය විසින් දෝෂාරෝපණය කිරීම නිසා ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මෙලෙස සිය දිවි නසා ගැනීමට කෘමිනාශක පානය කර ඇති බවකි.

පොලිස් සැරයන්වරයා සම්බන්ධව දඹුල්ල රෝහලෙන් ප්‍රකාශ කළේ අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ය.

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු හබරණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version