ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම ඊළඟ පරම්පරාවට භාර නොදීම ජනපතිගේ අරමුණයි – ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්ය භාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදී ම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

සංහිඳියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසඳා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත් එම ප්‍රයන්තය සාර්ථක කර ගතහොත් රටක් ලෙස වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම අදහස් පළ කර සිටියේ, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වමෙනි.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අරමුණු පැහැදිලි කළ අතර, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ (truth reconciliation commission ) කාර්යභාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරණි.

එහිදී එම කොමිසම පිහිටුවීමේ අරමුණු ඉටුකර ගැනීම පිළිබඳ පැමිණ සිටි සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා විමසා සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

රටක් ලෙස ඉදිරියට යාමට සියලු පුරුවැසියන්ගේ එකඟතාව හා සහයෝගය අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එහිදි අවධාරණය කර සිටියේය.

( ජනාධිපති මාධ්‍ය ඒකකය )

Exit mobile version