දැරියක් කෙලෙසූ විදුහල්පතිට වැඩ වරදී.

පාසල තුළදීම දස හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට බරපතළ වැඩ සහිතව වසර 7 ක සිර දඬුවමක් මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්.මිහාල් විසින් ඊයේ (11) දින නියම කළ බව වාර්තා වේ.

මෙම සිර දඬුවමට අමතරව රුපියල් 25,000 ක දඩ මුදලක් ද , රුපියල් ලක්ෂයක වන්දියක් ද ගෙවන ලෙසට මහාධිකරණ  විනිසුරුවරයා නියෝග කර තිබේ.

2014 වර්ෂයේ සැප්තැම්බර් 23 වන දින මන්නාරම පාසලක 10 හැවිරිදි සිසුවියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලකට අනුව මන්නාරම පොලීසිය විසින් අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් දැරියගේ කට උත්තරය හා අධිකරණ වෛද්‍ය වාර්තාව හා තවත් විද්‍යාත්මක සාධක මත පැහැදිලිවම ඔප්පු වී තිබෙන අතර අදාළ චෝදනාව එල්ල වී තිබෙන විදුහල්පතිවරයා ද එම චෝදනාව තමන් විසින් සිදු කරන ලද්දක් බවට ප්‍රකාශ කරමින් අධිකරණය ඉදිරියේ සමාව ඉල්ලා තිබේ.

එහිදී විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ විදුහල්පතිවරයා මහා හඬින් අධිකරණය තුළ විලාප තබමින් තමන්ව නිදහස් කරන ලෙසට ආයාචනා කර තිබේ.

Exit mobile version