මුල්ලේරියා කාන්තා ඝාතනයේ සැකකරුවන්ගේ ප්‍රකාශ පරස්පරයි.

මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) පොලීසියට භාර වූ ව්‍යාපාරිකයා සහ කපුවා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) සපුගස්කන්ද පොලීසියට අවසර ලබා දී තිබෙන අතර පොලීසිය පවසන්නේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ පරස්පර බවයි.

ඒ අනුව ඊයේ (02) පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා සහ කපුවාගෙන් සිදුකෙරෙන මූලික ප්‍රශ්නකිරීම් වලදී T.G. ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට සපුගස්කන්ද පොලීසිය සමත්ව තිබෙන බව වාර්තා වේ .

එහිදී සැකකාර කපුවා පොලීසියට පවසා ඇත්තේ අදාළ කාන්තාවගෙන් ව්‍යාපාරිකයාට නිතර කරදර සිදුවූ බවත් , දුරකථන ඇමතුම් ලබාදී කරදර සිදුකරන ඇය හේතුවෙන් ව්‍යාපාරිකයාගේ නිදහස ද සීමාවී තිබූ බවත් ය.

ඒ අනුව “මේ ගැටලුව විසඳාගමු” යැයි තමා ව්‍යාපාරිකයාට යෝජනා කළ බවත්, ඒ සඳහා මන්නයක්ද මුවහත් තබා සූදානම් කළ බවත් සැකකාර කපුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා ඇත්තේ අදාළ දිනයේදී ව්‍යාපාරිකයා ඔහුගේ මෝටර් රථයෙන් කාන්තාව සපුගස්කන්දේ නිවස වෙත රැගෙන ආ බවත් , එහිදී කාන්තාව නිවසේ කාමරයක සිට පිටතට පැමිණෙද්දී තමා ඇයට මන්නා පහරක් එල්ල කළ බවත් , එහිදී ඇය පුටුවක වාඩි වී ”සුධීර සුධීර” යනුවෙන් ව්‍යාපාරිකයාගේ නම කියා කෑගැසූ බවත්ය.

එමෙන්ම කාන්තාව මියගිය පසු රුධිරය තැවරුණු ස්ථාන සෝදා දමා බිත්තිවල තීන්ත ආලේප කර කාන්තාවගේ ඇඳුම් පුලුස්සා දැමූ බවත් , අනතුරුව ව්‍යාපාරිකයා සමග එක්ව සිරුර කොටස් කර එදින රාත්‍රියේම ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන් රැගෙන ගොස් කොට්ටුන්න වැවට සම්බන්ධ ඇළ මාර්ගයකට සිරුර සහ මන්නය විසි කළ බවත් කපුවා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .

නමුත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමා සහ කාන්තාව අවන්හලේ සිට මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී බහින්බස් වීමක් සිදුවීමෙන් පසු කඩුවෙලට නුදුරින් පිහිටි පාලමක් අසලින් ඇය බැස ගිය බවත් , පසුව ඇය ත්‍රීරෝද රථයක නැගී සපුගස්කන්ද නිවසට පැමිණි අවස්ථාවේදී කපුවා සමග බහින්බස් වී ඇති බවත් , තමා නිවසට පැමිණෙන විටත් කපුවා විසින් කාන්තාව ඝාතනය කර තිබූ බවත් ය.

එම අවස්ථාවේදී “උඹ කළානම් උඹ භාරගනින්” යැයි තමා කපුවාට බැන වැදුණු බවත් , පසුව ඔහු සිරුරින් අත් පා වෙන් කර සිරුර ඇළ මාර්ගයට රැගෙන ගොස් එහි දැමූ බවත් ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පොලීසිය සැක පළ කරන්නේ විමර්ශන නිලධාරීන් නොමග යැවීම සඳහා සැකකරුවන් දෙදෙනා පරස්පර ප්‍රකාශ සිදුකරන බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ඔසිත ලංකා ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ .

Exit mobile version