ජනමාධ්‍යයට වින කටින අඳුරු මිනිසාගේ කතාව

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් නව විකාශන අධිකාරි පනත හරහා යළිත් වතාවක් රටේ මාධ්‍ය නිදහස ගැන පුළුල් කතා බහක් ඇති වී තිබේ .

ආර්ථික ආගාධයේ පතුලටම ඇඳ වැටුණු ජාතියක් ලෙස යළිත් ජාත්‍යන්තර ප්‍රජාවගේ අත දීමෙන් ගොඩ එමින් සිටින අප රටට ඇත්තටම මේ මොහොතේ අවශ්‍ය මාධ්‍ය නියාමන පනත් ද එසේත් නොමැති නම් රට විනාශ කළ මේ ආර්ථික අපරාධකරුවන්ට නිදැල්ලේ සැරිසැරීමට නොහැකි වන පරිදි නව නීති අණ පණත් සකසා ඉදිරියේදී එවැනි දේ වීම වැළැක්වීම නොවේදැයි බොහෝ දෙනෙකු විමසමින් සිටී.

රට ආර්ථික වශයෙන් කඩා වැටීමට ප්‍රධාන හේතුව ශ්‍රීලංකාවේ අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබෙන දූෂණය වංචාව ,රාජ්‍ය දේපොළ කොල්ල කෑම බව අපේ රටේ උන්දැලා නොදෙන හිටියද ලෝකය හොඳින් දනී.මෙරටට මූල්‍යමය වශයෙන් ආධාර කළ අයි.එම්එෆ් එක පමණක් නොව සියලු සංවිධාන රටවල් එක හඩින් රාජ්‍ය මුදල් කාබාසිනියා කරන මූල්‍ය දූෂණය නවත්වන ලෙස බලකරන්නේ ඒ නිසාය .

හිල්ටන් හෝටල් මගඩි ,මහ බැංකු මගඩි,මිග් යානා මගඩි අර්ථසාධක අරමුදලේ මගඩි බෙහෙත් වලින් ගසා කෑම එකී මෙකී නොකී කප්පරක් මගඩි වලට අපේ උන්දැලාට පාර කියා දී ඇත්තේ මෙරට ජනමාධ්‍ය බවයි ආණ්ඩුව දැන් හදිසියේ ගේන්න හදන මේ මාධ්‍ය පණතින් පෙනී යන්නේ .

“තාත්තේ දැන් ආණ්ඩු වේ කට්ටිය කියන විදියට රට මේ තැනට වට්ටලා දාන්න මාධ්‍ය සෑහෙන්න දෙයක් කරලා නේද ,ඒ කරලා මුකුත් නොවුණු ගානට ඉන්නවා නේද අපේ ගෙදර පොඩි එකා මගෙන් අද ඇහුවේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නෙ”ඒ තරමට මාධ්‍ය ගැන බිල්ලෙක් මවලා.

අනෙක් අතට අමුතුවෙන් අධිකාරි අනපනත් ගෙන විත් තහනම් කරන්නට තරම් පුළුල් ජනමාධ්‍යයක් අපේ රටේ ඇත්තේද නැති තරම්‍ ය.මහා ලොකු ඉතිහාසයක් නොමැති මෙරට මාධ්‍ය ඉතිහාසයේ යම් තරමක හෝ ඉහළ මාධ්‍ය භාවිතාවක් තිබුණේ නම් ඒ තිබුණේ 90 දශකයේ සිට 2005 දක්වා බව තර්ක කරන පිරිස සමග එකඟ විය හැකිය .එම වකවානුවේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණයන්ට පාලකයින් ඉදිරියේ කෙලින් හිට ගැනීමේ හැකියාව හොදින් තිබූ බව එවක කණිෂ්ඨ මාධ්‍ය කරුවන් නිතර දුටු දෙයකි.ඒ ආභාෂය ලැබූ අද මාධ්‍ය ආයතන වල මුල් තැන ඉන්නා මාධ්‍යකරුවන් කිහිප දෙනෙකු හැර නූතන මාධ්‍ය කරුවන් බොහෝ දෙනෙකුට ආණ්ඩුව අමුතුවෙන් නීති ගෙන ඒම අවශ්‍ය නැත.ඔවුන් වැඩකරන මාධ්‍ය ආයතනයේ සිටම මාධ්‍ය ආවරණය සදහා යන සියලු තැන් වල ඔවුන්  හිර කරුවන් වී අවසන්‍ ය.

හොරා මොකාද අපරාධකාරය දූෂිතය මොකාද කියල හොයා ගන්න බැරි තරමට සමාජයේ හැම දේම විකෘති වෙලා.රට නීතිය, ආර්ථික ,විශේෂයෙන් කෘෂිකාර්මික වශයෙන් විනාශයට වගකිව යුතු අය හරි නම් හිර ගෙවල් වල ඉන්න ඕනෑ පිරිස ජනතාවට දේශන තියෙනවා රට ගොඩගන්න හැටි කියන්න .දැන් මාධ්‍ය පාලනය කිරීමට හදිසි නීති ගෙන ඒමෙන් අපට නම් පෙනී යන්නේ.මක් නිසාද ජනතාව මේ පාලකයන්ගෙන් කෑගසා ඉල්ලා සිටියේ දූෂණය වංචාව රාජ්‍ය මුදල් කාබාසිනියා කරන වුන් දඩුකඳේ ගහන්න නීති ගේන්න කියලනේ.ඒ වුවද දැන් දඩු කදේ ගසන්නට යන්නේ කවරෙක්ද!

මේ රට මේ තත්ත්වයට පත් කිරීමට රටේ ජනමාධ්‍ය හැසිරීම බලපෑ බව කොටසකට තේරුම් යාම අරුමයක් නොවේ.මක් නිසාද ඒ පිරිස මේ රටේ පත්තර රූපවාහිනී නාලිකා සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වනවාට කොහොමත් බිය පිරිසකි.සුදු රෙද්දෙන් ,සුදු කර පටියෙන් හෝ කළු කෝට් බෑයෙන් වසා ගෙන සිටියද ඒ ඇදුමට යටින් සිටින අදුරු අදහස් දරන මිනිසා සමාජයේ යහ පැවැත්මට බියය.දූෂණය වැඩි ලෝකයේ ඕනෑම සමාජයක ජනමාධ්‍යයට සිදු මෙවැනි පීඩාවන් බව කවුරුත් දනිති .

ජනමාධ්‍යයේ පොදු සතුරා වංචාව දූෂණයයි.ජනතාවට සමීප පුවත් මවන්නේ මේ දූෂණයයි .එම දූෂණය වංචාව විනිවිද භාවයක් ඇති සමාජ හෙළි දරව් කිරීම්‍ හා ඒ හෙලිදරව්වන්ට යොදා ගන්නා නූතන මෙවලම් වන සමාජ මාධ්‍ය,(නව මාධ්‍ය) රූපවාහිනී ගුවන් විදුලි පත්තර ආදිය නිරතුරුව අඳුරු අදහස් දරන කළු මිනිසාගේ පැවැත්මට තර්ජනයකි.ඒ නිසා ඔවුන් හැකි සෑම අවස්ථාවකදීම මාධ්‍යයට වාරණ ගෙන එති.අප මේ කියන කළු මිනිසා පෙර කී ලෙස විවිධ ස්වරූප වලින් සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටී.

බලයට පැමිණ පාලක පන්තියේ සිටින විට එක් ස්වරූපයක් ගෙන කටයුතු කරන මේ මිනිසා විපක්ෂයේ සිටින අතර වෙනත්ම ස්වරූපයක් ගනී.වරෙක ජනමාධ්‍යයේ අයිතිවාසිකම් වෙනුවෙන් මහ හඩින් කෑ ගසමින් පෙනී සිටින්නේ ද ඒ මිනිසාය. පන්සලේ,පල්ලියේ,කෝවිලේ සිට වැඩබිමේ ,අරගල භූමියේ ,කන්තෝරුවේ මේ මිනිසා ඇත .

ඊළඟට එන මහ මැතිවරණයේදී ,ජනාධිපතිවරණයේදී මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට පොරොන්දුවක් දෙන්නේ මෙවැනි පසුබිමක ය.

( සරත් සමරනායක )

Exit mobile version