අසල්වැසි මිතුරාගේ ඔත්තුවෙන් හොරා මාට්ටු.

නිවසකට ඇතුළු වී මුදල් සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙකු නිවස තුළම කොටු වී පොලිස් අත්අඩංගුවට පත් වූ බව වාර්තා වේ.

තම සොයුරාට අයත් දෙමහල් නිවසක ඉහළ මාලයේ පදිංචිව සිටින පුද්ගලයෙකුගේ නිවසේ තිබූ මුදල් වරින් වර අතුරුදන් වී තිබූ බැවින් ඔහු තවත් අසල්වැසි මිතුරෙකුට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවසා තමන් නිවසේ නොමැති අවස්ථාවන්වලදී නිවස පිළිබඳව සෝදිස්සියෙන් සිටින ලෙස ඔහුට දන්වා තිබුණි.

පසුගිය 09 වන දින සවස එම නිවසේ දොර කිසිවෙකු විසින් විවෘත කර ඇති බව දුටු අසල්වැසියා රහසිගතව උඩුමහලේ නිවසේ දොර අසලට ගොස් නිරීක්ෂණය කරන විට සැකකරු නිවස තුළ සිටින බව දැක ගැනීමට හැකිව තිබේ. වහාම ක්‍රියාත්මක වූ එම අසල්වැසි පුද්ගලයා විවෘත කර තිබූ දොර අගුළු දමා නිවෙස් හිමියා වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.සුදුසිංහ මහතාගේ උපදෙස් මත රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් සැරයන් 56109 ප්‍රියන්ත ඇතුළු පොලිස් නිලධාරීන් විසින් එම නිවසට ගොස් නිවස තුළ කොටුවී සිටි අකුරැස්ස ප්‍රදේශයේම පදිංචි නිවෙස් හිමියාගේ මිතුරෙකු වන 33 හැවිරිදි පුද්ගලයාව සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version