ලංකාව පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ගනිමින් වෙසක් සමයේ දී වෙසක් උත්සවයට සමගාමීව දිවයිනපුරා ජනතාව වෙනුවෙන් පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සංවිධානය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර ඇත්තේ දන්සැල් පැවැත්වීමට පෙර එම දන්සැල් ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බව පවසා තිබේ.
“එළැඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියල්ල සුදානම් කරලා තියෙනවා. ඔබ දන්සැලක් දෙන්න අපේක්ෂා කරනවා නම් ඔබ දන්සැල ලබාදෙන පරිශ්‍රය පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් ලිඛිතව දැනුම් දුන්නහම දන්සල ලබාදෙන දිනය, ස්ථානය හා වර්ගය පිළිබඳව අවශ්‍ය උපදෙස් අපි ලබාදෙනවා. ඒ වගේම ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ අපි ලබාදෙනවා. ඒ වගේම දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,000කට ආසන්න පිරිසක් තමන්ගේ කොට්ඨාසවලට අයත් දන්සල් වෙසක් පොහොයට පෙර දින, පොහොය දිනයේ හා පසු දින සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක්කරන්න කටයුතු කරනවා.”
“වැසි තත්ත්වය සමග පාචනය රෝගය පැතිර යෑමේ අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් තමන් ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හා ජලය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පළා වර්ග වගේ දේවල් යොදා ගන්නවා නම් මතුපිට ජලය ගලා නොඑන තැන්වලින් සකසා ගත් පළා වර්ග යොදා ගන්න. විශේෂයෙන්ම ආහාර විෂවීම හා පාචනය ගැන අවදානයෙන් කටයුතු කරන්න. යම් ලෙසකින් දන්සැල් ලබාදෙන තැන්වල සෞඛ්‍යානුකූල නොවන ආකාරයේ දෙයක් සිද්ධ වුණොත් එය අත්හිටුවීමට ක්‍රියාමාර්ග අපිට ගන්න වේවි.”
