කිරිඳි ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට .

වැල්ලවායේ සිට තණමල්විල හරහා ලුනුගම්වෙහෙර ජලාශය දක්වා ගලාබසින කිරිඳි ඔයේ ජල මට්ටම වැල්ලවාය ප්‍රදේශයේදී සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් කිරිඳි ඔය දෙපස ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කය හරහා ගලාබසින කිරිඳි ඔයේ ඉහළ ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ අධික වැසි ඇතිවී තිබෙන බව සදහන්.

මේ හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේදී කිරිඳි ඔයේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

මේ නිසා වැල්ලවායෙන් පහළ ප්‍රදේශවල කිරිඳි ඔය දෙපස පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව සදහන්.

ජලය ඉහළයෑම වේගයෙන් සිදුවෙන බවද වාර්තා වෙයි. මේ තත්ත්වය ගැන අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසද ජනතාවට දැනුම්දී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම්දෙන්නේ කිරිඳි ඔය හරහා වැටී ඇති මාර්ග භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසය. 
  
කෙසේ වෙතත් මේ හේතුවෙන් ලුනුගම්වෙහෙර ජලාශය වාන් දැමීමේ හැකියාවක් නැති බවද වාර්තා වෙයි.

Exit mobile version