මාන්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මල්ලාවී පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් නෛතිකව කටයුතු නොකිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 25,000ක මුදලක් එම නිලධාරීන් දෙදෙනා ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 12500ක මුදලක් පළමුව අදාළ පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන් වෙත ලබා දී තිබේ. ඉතිරි මුදල ලබාදෙන තෙක් පොලිස් නිලධාරීන් අදාළ පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන ඇති අතර එය නැවත ලබාදීමට රුපියල් 15,000ක මුදලක් ඉල්ලා තිබේ.
ඒ අනුව එම රුපියල් 15,000ක මුදල ලබා ගන්නා අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයා සහ පොලිස් සැරයන්වරයා මල්ලාවී පොලිස් ස්ථානය අසල දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
