ගැහැණිය සතු අපමණ ඉවසීම , ධෛර්යය හා මානුෂීය බව ලෝකය නිවැරදි කිරීමේ ශක්තිය හා ආත්ම විශ්වාසය සමඟ ලියවී තිබෙන යුද්ධය පිළිබඳව ලියැවුණු ඓතිහාසික හා ප්‍රේමණීය යතාර්ථවාදී කදුළු කතාව වන නීතිවේදිනී ටිකිරි සුභාෂිණී විෆ්ලර්ගේ විසින් රචිත දෙනුවර නැවතුම දෙවන හා තුන් වන කෘතිය 2023.08.29 වන දින පස්වරු 2.00 සිට 5.00 දක්වා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතීයි.
දෙනුවර නැවතුම නවකථාව හෙවත් සිද්ධිමය ආඛ්‍යාන ත්‍රිත්වය රචනා කරනු ලබන්නේ සුභාෂිණි විප්ෆ්ලර් ලේඛිකාවයි. ඇය නීතීඥවරියක්ද වේ. ටිකිරි සුභාෂිණි විප්ෆ්ලර් යනුවෙන් ලේඛණයෙහි හා සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධ ඇය තම ලාංකීය ජීවිතයේදී ලද අත්දැකීම් අනුව පළමු පොත 2020 වර්ෂයේ අගභාගයේ දී ජර්මනියේ සිට රචනා කරයි. දෙනුවර නැවතුම පළමු කොටස ජනගත වන්නේ 2021 වර්ෂයේ ජනවාරි මාසයේදීය. දෙවන හා තුන් වන කොටස් එළඹෙන 29 දින මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කිරීමට නියමිතව තිබේ.
එම කතා ත්‍රිත්වය ගැන අපගේ අවධානය යොමු වුයේ විශේෂයෙන්ම ලංකාවේ වසර තිහක් පැවති වාර්ගික අර්බුදය හා සිවිල් යුද්ධය ගැන සත්‍ය අත්දැකීම් හා කරුණු සහිතව රචනා වූ පොත්පත් හිඟ බැවිනි. නැතහොත් ලියැවී ඇති පොත් කිහිපය ඒක පාර්ශ්වික වීර කාව්‍යයන් බැවිනි. ඒවායෙන් ඒ දශක තුනේ සැබෑ මානව අත්දැකීම් හා සමාජ කම්පනය රචනා වී නැත. දෙනුවර නැවතුම පළමු කෘතිය කියවූ අපට ඒ කෘතියේ සත්‍ය හා නිර්ව්‍යාජ කතාන්තරය ඒ යුගයේ සමාජ ,ආර්ථික හා දේශපාලනික කරුණු වලින් යුක්ත සමාජ ඛේදවාචකය ලියවෙමින් තිබුණේ දෙනුවර නැවතුම කෘති තුළ බවට පුර්ව සාක්ෂි සපයා තිබුණි.
1994 -2000 වර්ෂ වලදී ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය හා ඊලාම් යුද්ධය ක්‍රියාත්මක වෙමින් පැවතුනී. කතුවරිය වවුනියාව නගරයේ වසර කිහිපයක් ජීවත් වෙමින් ලද අත්දැකීම් අපූරු ප්‍රේම වෘතාන්තයක් මඟින් ප්‍රති නිර්මාණය කරයි. දමිළ වෛද්‍යවරියක හා සිංහල පොලිස් පරීක්ෂකවරයෙක් අතර ඇතිවන ප්‍රේමවෘතාන්තය ඒ කාලයේ පැවැති දේශපාලන,ආර්ථික හා නීතිමය හේතූන් තුළ අවසන් වන්නේ ශෝකාන්තයක් ලෙසිනි. කතුවරිය ප්‍රේමය,ජාතීන් අතර ඇති අනවබෝධය හා නීතියේ අවභාවිතය,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අවභාවිතය හා ඒ නිසාම කැඩී බිඳී විසිරී යන ආදරණිය යුවලක්, මෙන්ම දරුවකු ප්‍රස්තුතය කරගෙන යුද්ධ කාලයේ පැවතී සියළු අසාධාරණකම් ඉතා සියුම්ව පළමු කෘතියෙන් කථා බහ කරයි.එම පොතේ පාඨකයන් දෙවෙනි තුන්වෙනි කොටස් නිකුත් වන තුරු අපේක්ෂා සහගතව බලා සිටින බව සමාජ මාධ්‍යවල පලවන සටහන් වලින් වටහා ගත හැකිය.
ලේඛිකාව සමඟ කළ සංවාදයකින් පසු දෙවෙනි හා තුන් වෙනි කෘතිය ගැන අදහසක් ලබා ගැනීමට අපට හැකි විය. ශෝකාන්තයකින් කෙළවර වන පළමු කෘතියේ චරිත දෙවෙනි කෘතිය තුළදී තම බිඳී විසිරි ගිය ජිවිත නැවත එකතු කරගන්නට දරන අපරිමිත උත්සාහයන් හා සියල්ල අතහැර දමා සරණාගතයන් ලෙස විදේශගත වන ආකාරයත් වෘත්තීන් අතහැර ගොස් විදේශයකදී ලබන අපුර්ව හා දුෂ්කර ජීවිත අත්දැකීම් සම්භාරයක් පළමු කෘතියේ මෙන්ම සරල සුගම සංවාද හරහා ඉදිරිපත් කරයි.ඒ කතාන්තරය පුරාවටම ලංකාවේ යුද්ධය,එහි වින්දිතයන් හා රට හැර දමා ගිය දමිළ ප්‍රජාවගේ සත්‍ය අත්දැකීම් සනිටුහන් වෙයි.කැපකිරීම් හා ඉවසීම් මෙන්ම 1983 කළු ජූලියෙන් පසු දමිළ තරුණ ප්‍රජාවගේ ජීවිත වල හැල හැප්පීම් සානුකම්පිත හා මධ්‍යස්ථ කෝණයකින් කතුවරිය පළමු කෘතියේ මෙන්ම අඩංගු කිරීමට උත්සාහ කර ඇත.මේ කාලය 2000-වර්ෂය හා 2007 වර්ෂ අතර කාලය පදනම් කරගෙන රටින් පිට යුද්ධය සම්බන්ධ විදේශ අත්දැකීම් අපූරුවට විදහා දක්වා ඇත.
තුන් වෙනි කෘතිය ලියවෙන්නේ 2009 සිට 2015 දක්වා යුද්ධය අවසාන වීම හා ඒ අවසානය දක්වා යන ගමනේදී පළමු හා දෙවන කොටසේදී හමුවන ඇතැම් මිනිසුන්ගේ ජිවිත අවසානය ගැනය.අනෙක් අතින් පළමු කෘතියේ ඇති ජාතිවාදය හා අනවබෝධය තුරන් වී කාලයත් සමඟ ඇතිවන පවුලේ ගැටුම් හා බැඳීම් ගැනය.පළමු කෘතියේ ඇතැම් සිද්ධීන් වලට පාදක වන පුද්ගලයන් තුන්වෙනි කෘතියේදී නැවත ආගමනය වෙයි.ප්‍රේමය හා වෘත්තීය සාර්ථකත්වය , පවුල් ජීවිත වල අනවබෝධයන් හා ගැටුම් මේ සියල්ල ලංකාව තුළ බහුල වූ යුධ මරණය තුන්වෙනි කෘතිය තුළ ලියවී ඇත.
පළමු කෘතිය ලංකාව තුළ ලියවෙන අතර දෙවෙනි හා තුන් වැනි කෘතීන් යුරෝපය හා ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව අතර සිද්ධීන් ,අනු චරිත හා අනු කථාන්තර වලින් සමන්විතය. යුරෝපයේ සැබෑ අත්දැකීම් ,ජය ලැබීම,පරාජයන් හා පවුල් ජීවීත වල බිඳීම් මේ සියල්ල ඉතා සාර්ථක ලෙස කෘතීන් තුන තුළම ශ්‍රී ලංකාවේ දශක තුනක් පැවතී සිවිල් යුද්ධය හා එහි බලපෑම් වල ලෝක ව්‍යාප්තිය මැනවින් කරුණු සහිතව ලියවී ඇත.
නව කථා ත්‍රිත්වය තුළම ගැහැණිය සතු අපමණ ඉවසීම,ධෛර්යය හා මානුෂිය බව ලෝකය නිවැරදි කිරීමේ ශක්තිය හා ආත්ම විශ්වාසය කතුවරිය රන්හුයක් සේ සිත්තම් කරන අතර බුද්ධි ගලනය හා මව්බිම අහිමිකළ හා අහිමි වූ මිනිසුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවයන් ගැනත් කතු වරිය දෙවෙනි හා තුන් වෙනි කථා ත්‍රිත්වය තුළ පැහැදිලි චිත්‍රයක් පාඨකයාට තිලිණ කරයි.
කෘති තුනම 1994 සිට 2015 දක්වා කාල පාරාසය තුළ ඓතිහාසික කාර්යභාරයක් ඉටුකරයි.එනම් සිවිල් යුද්ධය,හා ඒ යුද්ධයේ වින්දිතයන්,ගේ ජීවන අභ්‍යන්තරයන් දේශීය හා විදේශීය වශයෙන් කතුවරිය සිය වවුනියාවේ සිට යුරෝපය දක්වා අත්දකින ජීවන චාරිකාවේදී ලද අත්දැකීම් වලින් ප්‍රතිනිර්මාණය කළ බව හොඳින් වැටහේ.කතුවරිය දේශපාලන විශ්ලේශිකාවක් ලෙස තම කෘතීන් නිර්මාණය කිරීමේදී සියුම්ව දේශපාලනය බද්ධ කරගනී.එමෙන්ම මානුෂිය ප්‍රේමනීය තේමාවන් තුළ පොත් ත්‍රිත්වයම පාඨකයා අපූරු ලෝක චාරිකාවක් රැගෙන යයි.යුද්ධය හා එහි වින්දිතයන් ගැන ශ්‍රී ලාංකීය පාඨකයාට ලෝක අත්දැකීම් දිගහරියි. මෙයට එක්වන විදේශීය චරිත තුළින් කතුවරිය මේ පොත් ත්‍රිත්වයේ ප්‍රධාන චරිතය වන වෛද්‍ය දේවිකාගේ චරිතය දකින්නට ආරාධනා කරයි.ප්‍රේමය පදනම් වන මේ කතා ත්‍රිත්වයේ අවසානය අළුත් ලෝකයකි.එය කතුවරිය දකින්නට ආසාකරන ලෝකය විය හැකිය.නැතහොත් ශ්‍රී ලංකාවේ ඇති විය යුතු යැයි අපේක්ෂා කරන ලෝකය විය හැකිය.
යුද්ධය පිලිබඳව ලියැවුණු ඓතිහාසික හා ප්‍රේමණීය යාතාර්ථවාදී මෙන්ම දැනුම සපිරි තුන් ඈඳුතු අක්‍යානයක් ලෙස දෙනුවර නැවතුම පොත් ත්‍රිත්වය හැඳින්විය හැකිය.මෙම පොත් ජනගත වන 2023.08.29 දින කතුවරියගේ අත්සන සහිතව ඒවා ලබාගත හැකිය.දෙනුවර නැවතුම පොත් ත්‍රිත්වයම විෆ්ලර් පබ්ලිෂර්ස් ඇන්ඩ් මීඩියා පෞද්ගලික සමාගමේ ප්‍රකාශණය.