ජනාධිපතිවරයා විසින් පසුගිය දා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් බලරහිත කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමකි ඉදිරිපත් වී ඇත.
එම පෙත්සම සමාජවාදී තරුණ සංගමයේ සංවිධායකවරයෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් විසින් ගොනු කරන ලදී.
නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දස දෙනෙකු එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත.
ඉකුත් 23 වනදා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි පෙත්සම්කරුවන් සඳහන් කළ අතර එය රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත්කර ඇතැයි පෙන්වා දෙමින් පෙත්සම්කරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ පනත යටතේ එවැනි නියෝගයක් ලබා දීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.
ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා සිටියේ තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් තීන්දුවක් ලබාදෙන ලෙසයි.
එමෙන්ම මෙම පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ලබාදෙන තෙක් එය ක්‍රියාත්මකවීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.















































