ඊයේ (18) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.
රටතුළ පවතින අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පූර්ණ සහාය ජනපති වෙත ලබාදෙන බවයි මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජල පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම එහිදී ඔහු සඳහන් කර තිබුනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාට යළි ආරක්ෂිතව දිවයිනට පැමිණීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සැලසිය යුතු බවය.
ජනාධිපතිවරයා ඇතුලු රජයෙන් ශ්‍රී ලංකා පොදුජන ලෙරමුණ ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම එය බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
අදාළ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ,පවිත්‍රා වන්නිආරච්චි ,නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් එක්ව ඇත.
රාවණා සටහන
“කෙසේ නමුත් රාවණා ලංකා අප මෙන්ම රටේ ජනතාව ද සිතන්නේ නම් හිටපු ජනාධිපතිවරයා තම වගකීම නිසි ආකාරයෙන් ඔහු පවසන පරිදි ඉටු කර ඇත්නම් සහ ජනතාව වෙනුවෙන් ඇප කැප වී සේවය කළා නම් ඔහු එසේ මෙරටින් පළා යා යුතු නැතුවා සේම යළි මෙරටට පැමිණීමට ආරක්ෂාවක් ඉල්ලීමට තරම් බියගුලු වීමටද අවශ්‍ය නොවේ. එසේම බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ඔහුව මෙරටට රැගෙන ඒමෙන් සිදුවන්නේ නැවතත් පැරණි දේශපාලන වියවුල ඇති කිරීමේ යම් දියයටින් ගින්දර ගෙන යාමේ සැලසුමක්ද විය හැකිය. ගුවන් තොටුපොළේ සිටම ඔහුව පිළිගනිම සදහා දැවැන්ත වැඩසටහන් දියත් කරමින් නැවතත් පැරණි දේශපාලන සෙල්ලම ආරම්භ වුවහොත් සිදුවන්නේ පෙරට වඩා දැවැන්ත විනාශයකි. මහින්ද, බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ කල්ලිය ගෝඨා වෙනුවෙන් කල දෙයක් නොමැත. ඔවුන් ගෝඨාගේ දිවිය අනතුරේ දැමු බව නොරහසකි. ජනාධිපතිවරයා ලෙස ඔහුව ආරක්ෂාවන ලෙස රට පාලනය කිරීමට බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ නඩය අසමත්විය. නැවතත් මේ සිදු කිරීමට අර අදින්නේ පැරණි අරගලයන් අලුත් කරගැනීමේ රාජපක්ෂවරුන්ගේ සහ පොහොට්ටුවේ ක්‍රියාදාමයකි.
පොහොට්ටුව කල යුත්තේ එය නොවේ. ප්‍රථමව රට ස්ථාවරව පවත්වාගෙන ගොස් රටේ පවතින සියලුම අර්බුද නිමා වූ පසුව ගෝඨා ලංකාවට රැගෙන ඒමයි. එසේ නොමැතිව එකට එක කිරීමට යාමෙන් නැවතත් ආරම්භ වන්නේ දැවැන්ත උද්ඝෝෂන මෙන්ම අරගලවල අලුත් ආරම්භයක් විය හැකිය. එය පෙරදාට වඩා බලවත් මෙන්ම ශක්තිමත් ඒවා විය හැකිය. රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය හදුනා නොගත් අදූරදර්ශී මානව හිතවාදී නොවන පාලකයන්ට අනාගතය නොපෙනීමේ අවාසනාවෙන් විනාශ වුයේද, විනාශ වන්නේද මෙරට බව දන්නේ මානව හිතවාදී මිනිසුන් පමණි.”