හෙට්ටිලියනගේ සෙනෙවිරත්න ලියනගේ ( පුස්සතොට වසමේ හිටපු ග්‍රාම නිලධාරී ) හේරත් මුදියන්සේලාගේ හේමන්ත බණ්ඩාර ( වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේකම්) සිසිල් අතුල ගුණසේකර ( වැලිගෙපොල හිටපු සැලසුම් අධ්‍යක්ෂක) සහ කොන්ත්‍රාත්කරු වන උදේනි සුසන්ත යන අයට විරුද්ධව පවරා ඇති අපරාධ නඩුවේ අභියාචන විභාගය අද (31) කොළඹ කොච්චිකඩේ අභියාචනාධිකරණ අංක 109 දී විභාගයට ගෙන ඇත.
මගයාය, පුස්සතොට ග්‍රාම සේවා වසමට අයත් සින්නකර අයිතිය තිබෙන ඉඩමකින් කොටසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට කටුයතු කිරීමට එරෙහිව ගොඩකවෙල පොලිස් ස්ථානය වෙත 2016 වසරෙ සිට 2017 දක්වා පැමිණිලි 9 ක් ඉදිරිපත් කලද ඒවා විභාග කිරීමට කටයුතු නොකර අදාළ නිලධාරීන්ගේ අවශ්‍යතා ඉටු කිරීම හේතුවෙන් පල්ලේබැද්ද, මගයාය පදිංචි ජී.පී.නිශ්ශංක මහතා විසින් ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 25 (1) වගන්තිය යටතේ ඔවුන්ට විරුද්ධව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
කෙසේ නමුත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් තීන්දුව ලබා දීමේ දී ප්‍රාදේශීය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාවලිය පරිපාලනමය වරදක් බවට පෙනී යන බව සඳහන් කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.ඉන් අනතුරුව එම තීන්දුවට අභියෝග කරමින් ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණය වෙත අභියාචනා කර තිබෙන අතර එහිදී ද කාර්යය පටිපාටිමය වරදක් හේතුවෙන් ඉල්ලීම නිශ්ප්‍රභා කර තිබේ. කෙසේ වුවද ඇඹිලිපිටිය පළාත්බද මහධිකරණ විනුසුරු කුමාරි අබේරත්න මහත්මියගේ තීන්දුවට අනුව “ පෞද්ගලික කරදරයක් සිදුවන බවට පිළිගෙන තිබේ”. නමුත් කාර්ය පටිපාටිමය වරද හේතුවෙන් පැමිනිලිකරුගේ ඉල්ලීම ඉවත ලා තිබේ.
අනතුරුව එම තීන්දුව ද අභියෝගයට ලක් කරමින් කාර්ය පටිපාටිය පිළිබඳව උපදේශයක් ද ලබා ගැනීමේ අරමුණ ඇතිව එම නඩුව කොළඹ අලුත් කඩේ පිහිටි අභියාචනාධිකරණය වෙත අභියාචනා කර ඇත.එම නඩුව CA/PHC/128/2017 දරණ අංක යටතේ විභාග වෙමින් පවතියි.එම නඩුව අද (31) කැඳවන ලද අතර එහි දී නඩුවේ විවාදය සඳහා 2023/02/21 දින නියම කර ඇත.
මෙම නඩුවේ විශේෂත්වය වී ඇත්තේ පෞද්ගලික ඉඩමක හිමිකරුවන් පලවාහරිමින් ඉන් කොටසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමයි. එවැනි අවස්ථාවලදී රාජ්‍ය නිලධාරීන්ට ද එරෙහිව අපරාධ චෝදනා ගොනුකර කිරීමට හැකි ආකාරය මෙම නඩුවේ පැමිණිලිකරු විසින් පෙන්වා දීමත්, පොලිසිය මගින් අපරාධ නඩු චෝදනා ඉදිරිපත් නොකරන්නේ නම් ඕනෑම ශ්‍රි ලාංකිකයෙකුට ස්වාධීනව හෝ නීතිඥවරයෙකු මාර්ගයෙන් අපරාධ නඩු පැවරීමට හැකි නීතිමය පැතිකඩ මෙහිදී පෙන්වා දී ඇත.
පැමිණිලිකාර අභියාචක ජී.පී.නිශ්ශංක මහතා කිසිදු නීතිඥ සහයක් නොමැතිව මෙම නඩුවේ කටයුතු සියල්ල සිදුකර තිබෙන අතර විවාද, දේශන, ලිඛිත දේශන ද ඔහු විසින්ම සකසා තිබෙන අතර අද (31) දිනයේ පැවති නඩුවට ද ඔහු වෙනුවෙන් ඔහුම පෙනී සිටිමින් කටයුතු කරන ලදී. එහි දී විත්තිකාර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින ලදී.















































