ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ සිඩ්නිහි දී මෙරට රාජ්‍ය නිලධාරින්ට අල්ලස් ලබාදීමේ චෝදනාවක් මත ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනා අද (11) දින සිඩ්නි ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔස්ට්‍රේලියාවේ අනුබද්ධිත සමාගමක් වූ එස්.එම්.ඊ.සී. ජාත්‍යන්තර සමාගම විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත්තුව ලබාගැනීම සදහා මෙරට රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සහා කර ඇති බව වාර්තා වේ.
එසේම 2009 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුල ඔස්ට්‍රේලියානු ඩොලර් තුන්ලක්ෂ හාරදහසකට වැඩි මුදලක් මෙම පුද්ගලයන් දෙදෙනා විසින් අල්ලස් ලෙස ලබා දීමට කුමන්ත්‍රණය කර ඇති බවට කරුණු අනාවරනය වී ඇත.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිෂන් සභාව, ඔස්ට්‍රේලියානු වෙළෙද හා ආයෝජන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, බංගලාදේශ පොලිසිය, ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් සමග එක්ව දීර්ග විමර්ශනයකින් පසුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 67 හැවිරිදි සහ 71 හැවිරිදි වියේ පසුවන්නන් වන අතර ඔවුන් සිඩ්නිහි පදිංචිකරුවන් වේ. මොවුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත අතර විදේශ රාජ්‍ය නිලධාරියෙකුට අල්ලස් දීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔවුන් වරදකරුවන් වුවහොත් වසර 10 ක සිරදඩුවමක් හිමිවනු ඇත.















































