ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වන විට රුසියානු ඉන්ධන නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ණය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය රුසියානු බලධාරීන් සමග අඛණ්ඩ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
එම සාකච්ඡාව ඵලදායීව සිදුවන අතර පවතින අර්බුදකාරී අවස්ථාවේ රුසියාවෙන් විශාල සහනයක් ලැබෙනු ඇති බවට ද අපේක්ෂා කරන බවයි රුසියානු ස්පුට්නික් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙහි දී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ණය පහසුකමක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් මහතාගෙන් ද ඉල්ලීමක් සිදුකර තිබූ බවයි.
ශ්‍රී ලංකාව මාස කිහිපයක් පුරාවට දැඩි ආර්ථික හා විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටි නමුත් මේ වන විට රට සෙමින් යළිත් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ස්පුටිනික් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්චාවේ දී සඳහන් කර ඇත්තේ ගතවූ මාස කිහිපය පුරා රට තුළ පැවති සියලු විරෝධතා පාලනය කර සංචාරකයින් සඳහා 100%ක් ආරක්ෂිත ගමනාන්තයක් බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්කර ඇති බවයි.
මේ අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම සම්මුඛ සාකච්ඡාවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ඒරොෆ්ලොට් ගුවන් යානය මෙරට රඳවා තබාගැනීම සම්බන්ධයෙන් රැසියාවෙන් සමාව අයදින බවයි.
එය විශාල අත්වැරැද්දත් බවත්, එවැනි සිදුවීමක් යළි සිදු නොවන බවටත් ශ්‍රී ලංකා රජය විසින් සහතිකයක් ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර ඇත.












































