තිස් වසරක් පුරාවට පැවති යුද්ධය හමුවේ මියගිය රණවිරුවන් සිහිපත් කරමින් “සෑම රණවිරුවෙක් සඳහා ම ගසක්” යන සංකල්පය කැටි කරගනිමින් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ යුද්ධයේ දී මියගිය විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව වනජීවී රැකවරණ ,අලිවැට හා අගල් ඉදිකිරීම, ආරක්ෂිත වැඩපිලිවෙළවල්, කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන අමාත්‍යංශයයේ අනුදැනුම යටතේ මෙම වැඩ සටහන සංවිධානය කරන අතර එළඹෙන සෙනසුරාදා දිනයේ ඉපලෝගම රක්ෂිතයේ දී ආරම්භ කෙරෙන අතර එම වැඩසටහන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම වැඩසටහන යටතේ කළුවර, බුළු ,මැයි,මාර,මිල්ල,ඇහැළ,සියඹලා,දොඹ ,කොහොඹ,කරඳ, කුඹුක්, මී, ඇත්දෙමට, හල්මිල්ල, බුරුත, කෝන්, මයිල වැනි ශාක වර්ග රාශියක් රෝපණය කෙරේ.
ඒ අනුව අක්කර 80.5ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් දිනකදී පැළ 25,930ක ප්‍රමාණයක් රෝපණය කිරීමට සැලසුම් කර ඇත.