තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව සදහන් ඉතිහාසගතවන නඩු තීන්දුවක් ලබා දීමට අභියා චනාධිකරණය ඊයේ (පෙබ. 28) කටයුතු කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොනු කර තිබූ අභියාචනයක් (CA/RTI/04/21) නිශ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දීම විශේශිතය.
වත්කම් – බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඇතුළු තොරතුරු මුදා හරින ලෙස දන්වමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට ලබා දෙන ලද තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුව විසින් මෙම අභියාචනය 2021 වසරේදී ඉදිරිපත් කර තිබුණි.
වත්කම් – බැරකම් ප්‍රකාශ ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇතුළු ඒ පිළිබඳ තොරතුරු ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් විසින් පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නිසා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට යොමු කළ අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව අදාළ තොරතුරු මුදා හරින ලෙස කොමිසම පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට නියෝග කළ අතර එම තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තුව අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.
2018 වර්ෂයේ පාර්ලිමේන්තුවට මෙම තොරතුරු ඉල්ලීම යොමු කර තිබෙන අතර 2018.09.11 දින මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිෂන් සභාවට අභියාචනා කර තිබේ.
තොරතුරු දැනගැනීමේ කොමිසමේ හිටපු කොමසාරිස්වරුන් වන මහින්ද ගම්මන්පිල, හිටපු විනිසුරු රෝහිණි වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ එස්. ජී. පුංචිහේවා සහ සෙල්වි තිරුචන්ද්‍රන් යන මහත්වරුන් විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණු බව වාර්තා වේ.
එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කිරීමෙන් පසු මාධ්‍යවේදී චාමර සම්පත් වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ සුභාංගි විමලනාදන්, නීතිඥ නිලූකා දිසානායක නීතිඥ කණ්ඩායම පෙනී සිටියහ.
සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරු මෙම තීන්දුව ලබා දී තිබේ














































