අරගලය ක්‍රමයේ වෙනසක් වෙතද?
අරගලයේ ගොඩාක් සාධනීය ලක්ෂණ තිබුණා.විශේෂයෙන්ම ඊයේ මන්දිරේට ඇතුල් වෙනකම් හා එහි අද දක්වා ඉන්න අරගලකරුවන්.මම දැක්කා පීඩකයා එලවා දැමීමේ සතුට වෛරයකින් තොරව භුක්ති විඳිනවා.අහිංසක සතුටක් විඳිනවා..ගෝටා ගේ කුස්සිය අතුගාලා කුණු ටික නියමිත තැනට දානවා.දාලා ගියපු සල්ලි ගණන් කරලා භාර දෙනවා..සාර් රජවරුන්ගේ පලායාම් හමු වේ ජනතාවගේ හැසිරීම නාට්‍යාකාර වුණා.ප්‍රංශ විප්ලවය නාට්‍යාකාර වුණා.ගෝටා ට මාරි ඇන්ටනට් බිසව සමාන කරන්න මට හිතුනේ මීට වසර එකහමාරකට පෙර.ගෝටා ගේ මේනු කාඩ්පත,එලියට ආවා.ජනගහනයෙන් 20 % ඊලඟ වේල ගැන වද වෙන රටක ..මේවා සියල්ල ජනතාව විසින් සොයාගත්තා..ගෝටාගේ යට ඇඳුමේ ප්‍රමාණය හා වෙළඳ ලකුණ.ඇත්තටම ඒවා නම් එච්චර වටිනා ,මිල අධික ඒවා නෙවෙයි.
ලාංකීය ජනතාව එක ජයග්‍රහණයක් ලැබුවා.ඒ තමයි විධායක ජනාධිපති කියන තනතුර උස්සලා පොලවේ ගහපු එක.ගෝටා විතරක් නෙවෙයි අනික් වෙච්ච පතිලා,වෙන්ට පතිලා ජනතාවගේ මුදලින් ලබන සුඛ විහරණයන් ගැන.මම ජර්මන් චාන්සලර් වරියගේ නිල නිවසට ගිය කෙනෙක්.ඒ නිසා නිවසේ අස්සක් මුල්ලක් නෑර අව්දින්න ඉඩ ලැබුණා.චාන්සලර් වරිය රාජකාරී ඉවර වෙලා නගරයේ තිබුණු ඇගේ වර්ග මීටර 105 ක අපාර්ට්මන්ට් එකට ගියේ බොහොම සරලව.උගත්කමින් අඩුවක් නැති,ලෝකයේ බලවත්ම රටක් පාලනය කරන ගැහැණියගේ සැනසීම තිබුනේ තමන් විසින්ම ,තමන්ගේ වැටුපෙන් කුලිය ගෙවන ඒ වර්ග මීටර 105 තුල.රෙදි සේදීම,වෙලාව ඇති විට තමන්ම උයා පිහා ගැනීම ඇය විසින්ම කළා.වසර 16 ක් රට පාලනය කළා.ඊලඟ සභාගය බිහි කරන්න කල් ගන්නකොට තමන්ගේ වගකීම ඒ අයුරින්ම ඉටුකරමින් ,විශ්‍රාම කාලය අඩු වීම ගැන මැසිවිලි නොකියා රට නියමිත පරිදි භාරදීලා ඉවත්වෙලා ගියා.ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට තියෙන වරප්‍රසාද ජර්මනියේ චාන්සලර් ට වත් නැහැ.කාර් පර්මිට් වගේ දේවල් කාර් හදන රටවල වෙලත් ලැබෙන්නේ නැහැ.රාජකාරි කාලය තුල වාහන ලැබෙනවා.හැබයි පුද්ගලිකව හැමෝම තමන්ගේ කාර් එකේ ගමන යනවා.අරගලය හා ඊයේ දිනය මේ සැප සම්පත් නුගත් ,උද්දච්ච,මැර හොරුන්ට දීලා රටක් විනාශ කරගත්ත හැටි නිරාවරණය කළා.මේවා මෙතෙක් ඇහුනේ දැනුනේ සුළුවෙන්.ඒ මන්දිර ඔක්කොම කෞතුකාගාර කරලා පාලකයෝ ගේ වියදම් අඩුකරන්න හැකිවෙන්න ඕන.ඒ කෞතුකාගාර වල අරගලයේ ගමන් මග කියවෙන්න ඕන.
අනෙක් අතින් අපි අරගලය ,අරගල භුමිය තුල දැක්කේ දේශපාලනික සුසංයෝගයන්.රටේ දේශපාලනයේ කැඩපත.ඒ තුල හිටියේ සර්වපාක්ෂික මිනිස්සු.හැබයි ඊයේ රාත්‍රිය වෙනකොට අරගලයට ඒ සර්ව පාක්ෂික මිනිස්සු පක්ෂ වහල් බැම්මෙන් නිදහස් කරන්න බැරි වෙලා බව දැනුණා.අරගලය පුරාම තිබුණු ඇතැම් වැදගත් කරුණු දැක්වීම් වලට ස්වාමියෝ හිටියා.පක්ෂ දේශපාලනය තිබුණා.අරගලය තුල ඒ ඒ පක්ෂ දේශපාලන ට පක්ෂ පිරිස් ඒ විදියට හැසිරීම පුදුමයක් නෙවෙයි.හැබයි අරගලයේ හිටපු පිරිසට වඩා එයට බාහිරින් උදව් කරපු බොහෝ දෙනෙක් ට ලංකා ඉතිහාසයේ දේශපාලන සුවපත් වීම් අවශ්‍ය බව වැටහෙන තරම්ම රාත්‍රියේ හොඳ පාඩමක් බුකිය පුරා පැතිරුණා.වැඩිහිටි උගත් මිනිස්සු ගිනි තැබීම ගැන පුදුමාකාර සතුටක්,ආශ්වාදයක් ලබන බව දැනුණා.ගිනි තැබීම සාධාරණිකරණය වුණා ,කලින් කරපු දේශපාලන වැරදි වලට දඬුවමක් ලෙස සාධාරණී කරණය වුණා.ගිනි තැබීමෙන් විනාශ වුනු පොත් ගැන දුක්විම වැරද්දක් හැටියට ජනගත කරන්න උත්සුක වුණා.මේ සියලු දෙනාම අරගලයේ හිටපු තරුණ දරුවෝ නෙවෙයි.සියලු දෙනාම ඒවගේ තරුණ දරුවන්ගේ දෙමාපියන්..එක පැත්තක් ලියපු කඩදාසි වලින් ගෝටා ගෝ ගමදී දරුවන්ට ලියන්නට පොත් නිර්මාණය වුණා. ඒ රටේ ඇති හිඟය නිසාම.ගමක පුස්තකාලයකට පොතක් කියන්නේ කොච්චර වටිනා දෙයක්ද කියලා අපිට ලැබෙන ඉල්ලීම් වලින් දැනෙනවා..රනිල්ගේ ගෙදර ගිනි තැබීමේ සතුට භුක්ති විඳින්න හැකි අය ඇත්තටම පෞද්ගලිකව ඒක වින්දොත් වැඩිහිටියෝ හැටියට,අඩුම තරමේ පොත්වලට වෙන අපහසය වත් ජනගත නොවේවි.
අපි දැනටත් කියවලා ඉවර වෙන පොත් පාරේ තියෙන ජංගම පුස්තකාලයේ තැන්පත් කරලා එනවා.නැතිනම් ජනතාව ගැවසෙන තැනක තියලා එනවා කැමති කෙනෙකුට අරන් යන්න.පොත් කියන්නේ පරිසරය.කොටින්ම කිව්වොත් ගස්.එක පොතකට කඩදාසි හදන්න අඩුම තරමේ ගහක් වත් ඕන.පොත් ලියනවා කියන්නේ ගස් කපනවා කියන එක.පරිසරය ජීවිතය දීලා ජනමනසට පොතක් හිමිකර දෙනවා.මම පෞද්ගලිකව ලංකාවේ තියෙන කඩදාසි හිඟය නිසා පොත් කිහිපයක් මුද්‍රණය නොකර ඉන්නවා..
රනිල්ගේ ගේ ගිනි තිබ්බට සතුටු වෙන ඕනෑම කෙනෙක් සතුටට අපි බාධා කරන්නේ නැහැ.හැබයි ගිනි තැබීම ,පොත් පත් විනාශය ජනගත කිරීමෙන් සිස්ටම් චේන්ජ් වෙන්නේ නැහැ.අනික් අතින් දේශපාලන සුවපත් භාවයක් ඇති නොවී තමන්ගේ මොළ සෝදනය වීම මත අරගලය අර්ථ දැක්වීම සිස්ටම් චේන්ජ් එකට හානියක්.ඒ කියන්නේ දේශපාලන වෛරය මත සිස්ටම් චේන්ජ් කිරීම.අනෙක් අතින් අරගලය විවේචනයෙන් මුක්ත විය යුතුයි කියන ආත්මාධිකාරිය.මේ ආත්මාධිකාරිය තියෙන්නේ දේශපාලන පක්ෂ වලට.මගේ ලැයිස්තුවේ හැම පක්ෂේකම අය ඉන්නවා.ඒත් ඒ පිරිස හිතනවා නම් මම එයාලගේ පක්ෂෙ මම දකින එයාලට හරියි කියලා පෙනෙන වැරැද්ද ගැන නොලියා ඉන්න ඕන කියලා ,එහෙනම් සිස්ටම් චේන්ජ් එකත් කොලේක ලියලා වාඩි වෙන්න කලින් පුටුවේ තියලා ඒ උඩ වාඩි වෙන එක හොඳයි.
ගෝටා ගේ පලා යාම ගැන මට සැකයක් තියෙනවා.මෙච්චර ජනගඟක් එන බව දැනගෙන ගෝටා අන්තිම මොහොත වෙනකම් මන්දිරේ හිටියද,නැතිනම් ඔවුන්ම කලින් ප්‍රචාරය කල පරිදි රටින් පිට වී සිටීද? පක්ෂ නායක රැස්වීම පැවතුණේ සුම් හරහා .හදිසියේ අසනීප වූ විපක්ෂ නායක ප්‍රේමදාස එයට සහභාගී වී නැහැ.ඔහු නැතිව අරගල කරුවන්ගේ අරමුණ ඊයෙම ඉෂ්ට වුණේ නැහැ.ඔහු එනතුරු සැබවින්ම සර්ව පාක්ෂික ආණ්ඩුවකට රට භාර දීම ප්‍රමාද වෙනවා.සාමාන්‍ය සම්ප්‍රදාය අනුව වැඩ බලන ජනපති කෙනෙකුට දින 14 ක් වැඩ බලන්න හැකියි.ඇත්තටම විපක්ෂ නායක ප්‍රේමදාස මහතා රෝහලේ සිට හෝ අරගල කරුවන් අමතා ප්‍රකාශයක් කර පවතින තත්ත්වය යටතේ තමා රටේ වගකීම භාරගැනීමට සුදානම් බව ප්‍රකාශ කල යුතුයි නේද? මේ වෙලාවේ රට එහෙම භාරගන්න තාවකාලිකව කව්රුහරි ඉන්නවද?
අපි දුටුවා සරත් ෆොන්සේකා මහතා අරගලයේ ඉන්නවා.හැබයි රාජිතට ගහනවා.කිසිම පක්ෂ නායකයෙන් අරගල භූමියට ආවේ නැහැ.හැබයි අරගලයේ අරමුණ සර්ව පාක්ෂික රජයක් ගැන කතා කියවෙනවා.අරගලය හා පක්ෂ දේශපාලනයේ මේ හැසිරීම් විවාදාත්මකයි. හැබයි සරත් ෆොන්සේකාගේ අලුත් පක්ෂේ සවෙන්ද්රට ලොකු තනතුරක් ලැබෙනවා කියන කතාව යනවා.සවේන්ද්‍ර ඊයේ ඉන්දියාවට ගිහින් එනවිට ඔහුව කැඳවාගෙන එන්න ගියපු රථ පෙළපාලිය අපිට දැනුනේ අඩුම තරමේ පාර්ලිමේන්තුවේ 225/200 ක් වත් රටින් පිටවෙන්න ගුවන් තොටට යන විදියේ චිත්‍රයක් .ඇත්තටම ඒ රථ පෙළපාලිය ධාවන පථයටම ගිහින් ඔහුව එක්කගෙන ආව.මේ විනාශ කරන්නේ රජයේ මුදල්.ඔහු විශ්‍රාමික නිලධාරියෙක්.මේ වගේ වියදම්කාරී හමුදාපති වරු ,විශ්‍රාමික පති වරු ලෝකේ වෙන රටවල නැහැ.සිස්ටම් චේන්ජ් කරන්න යන්නේ ඒ පුද්ගලයන් සමග කියන කතාවේ විහිලුව අපට බැහැර කරන්න බැහැ.ඒ නිසා අරගලය තව පරිණත විය යුතුයි.අරගලය ජාත්‍යන්තරව දැකිය යුතුයි. අරගලය ගෝලීයව ඇති අභියෝග ගැන වැටහීමෙන් පරිණත විය යුතුයි.
සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයක අවශ්‍යතාවය ගැන ලිව්වේ මාස 11 කට පෙර.ඒ ගෝටාට ඉල්ලා අස්වෙන්නට බල කරමින්.පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 15 ක් තියෙනවා.ඒ ජනමතය තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක ප්‍රකාශ විය යුත්තේ.කොහොම නමුත් මට දැනෙන්නේ ආයෙත් පක්ෂ විසින් අරගලයේ ජයග්‍රහනය අල කරන්න කල් මරණ බව.එහෙම කල් මරමින් ඉන්න එකෙන් වෙන්නේ IMF වල කොන්දේසි ටික පහුවෙන එක.දැනටමත් කොන්දේසි 16 න් එකක් වත් වැඩකරලා නැහැ.ඒ කියන්නේ රටේ තියෙන ජිවන ප්‍රශ්න ටිකට විසඳුමක් නැහැ කියන එක.මේ වතාවෙත් පක්ෂ දේශපාලනය ජනතාව අන්දනවා නම් ඊළඟ වතාව බොහොම දරුණු වෙයි.අපි ඉන්දියාව මත යැපීමට මෙය තල්ලුවක්.එහෙමත් නැතිනම් සර්ව පාක්ෂික ආණ්ඩුවට ආශිර්වාද කරන චීනය මත.එහෙත් අපිට මේ වෙලාවේ ස්වාධින බව ආරක්ෂා කරගන්න තියෙන එකම තැන IMF .නැගිටීමකට ඒ ස්වාධින බව මදක් හෝ අවශ්‍යයි.
අරගලය පරිණත වූ පසු තවත් වටිනා අරගලයක් ඉතිරිව ඇත.ඒ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ භීතිය හෙවත් පක්ෂ දේශපාලනයේ පලිගැනීම්,ලේ හැලීම් හා මරා ගැනීම් ගැන ඇති Traumata සුවපත් කරගැනීමයි.ලෝකයේ එවැනි සාමුහික සුවපත් වීම් ගැන චාරිත්‍ර අතින් දියුණුම දකුණු අප්‍රිකානු රටවල ගෝත්‍ර අතර ඇති සුවපත් වීමේ සම්ප්‍රදායික ක්‍රමයන්ය.අපට ඉතා වටිනා දර්ශනයක් වන බෞද්ධ දර්ශනය තුල පවා ඒ තුවාල සුවපත් කර වෛරය අවසන් කිරීමට නොහැකිව ඇත.සිස්ටම් චේන්ජ් එකක දේශපාලන පලිගැනීම් හා ඇරියස් ගැන සුවපත් වීමත් අත්‍යවශ්‍ය අංගයක්.ඊශ්‍රායල් ,ජර්මනිය ඒ දේශපාලනික සුවපත් වීම් වල තවමත් ක්‍රියාකාරී රටවල්.ඒ සුවපත් වීම් නැතුව අපිට හැමදාම අරගල කර පුද්ගලයන් පන්නමින් අපේ හිත්වල ඇති මතවාදයන් තෘප්ත කිරීම මිස රට සංවර්ධනයට දායක වීමට සම්පුර්ණ ශක්තිය යෙදවීම ට නොහැකිය.
උපුටා ගැනීම :- ටිකිරි සුභාෂිණී














































