“ සිරකරුවෝද මිනිසුන්ය”. ඔවුන් අපරාධකරුවන් වන්නේද අයහපත් සමාජය නිසාය. යහපත් සමාජයක් නිර්මාණය කල යුත්තේ රජය සහ රාජ්‍ය සේවකයා විසිනි. අපරාධයක් සිදුකල විට ඔවුන් යහමගට ගැනීමට වැටුප් ලබා දෙමින් රාජ්‍ය සේවකයන් පත්කර තිබේ.
නමුත් මේ වන විට වාර්තාවන්නේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙක් කඳවුරේ පාලකයන් විසින් පහර දී මර දමා තිබෙන බවයි. ඔහු මිය ගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේ බවද එම හේතුව මුල් කරගෙන මේ වනවිට හමුදාව සහ රැඳවියන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.
පහර දී මරා දැමූ බව කියන රැඳවියාගේ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා නොදී රැඳවියන් විසින් තබා ගෙන ඇති බවද, ඔවුන් සදහන් කරනුයේ සිදුවූයේ ඝාතනයක් බවත්, ඊට සාධාරණයක් අවශ්‍ය බවත් නැවතත් මිනී මැරුම් සිදු නොවීමට නම් යුක්තිය ඉටු විය යුතු බවයි.
කෙසේ හෝ මේ වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ එයින් පලා ගොස් තිබෙන අතර මේ වන විටත් එහි උණුසුම් තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
කෙසේ වුවත් ඔහු මිය ගියේ කෙසේද යන්න සහ සිදුව තිබෙන සත්‍ය සිදුවීම පිලිබඳව සත්‍ය තොරතුරු තවමත් වාර්තා වී නැත. පරිපාලනය විසින්ම මරා දැමුවේද, නැතිනම් වෙනත් කටයුත්තක් සිදු වුයේද යන්නද, සැබවින්ම මිනිමරුමක්ද යන්නද කරුණු අනාවරණය වන්නේ නිසි පරීක්ෂණයකින් පසුවය.













































