පේරාදෙණිය මල් වත්තේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් කාන්තාවන් බිය වද්දා කප්පම් ලබා ගන්නා පුද්ගලයෙකු මාතර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණි කාන්තාවක් එහිදී මිලදී ගත් මල් පැළ කිහිපයක් මල්වත්ත නරඹා එන තෙක් ආරක්ෂක කුටියේ තැබීමට කටයුතු කර තිබූ අතර එම අවස්ථාවේ ආරක්ෂක කුටියේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පවසා ඇත්තේ වටිනා මල් පැළ උද්‍යානයට ගෙන ආ විට ඒ පිළිබදව දැනුවත් කළ යුතු බවත් ඒ සදහා දුරකථන අංකය ලබා දෙන ලෙසත් ය.
එම අදාළ කාන්තාව ආරක්ෂක නිලධාරියා වෙත තම දුරකථන අංකය ලබා දී ඇති අතර ඇය සමග හිතවත් වූ ආරක්ෂක නිලධාරියා කෙටි කලක් දුරකථනය ඔස්සේ කථාබහ කර ඇති අතර ඔහු පිළිකා රෝගයකින් පෙලෙන බව පවසා ඇත .එය සත්‍යක් බව සනාථ කිරීමට අදාළ පුද්ගලයා හෙදියක් සමග සිටින ඡායාරුපයක් ද වට්ස්ඇප් හරහා ඒවා ඇති බව කියයි. ඡායාරූපයේ හෙදිය ලෙස පෙනී සිටි කාන්තාවද මැයට දුරකථන ඇමතුමකින් ආරක්ෂක නිලධාරියා පිළිකා රෝගියෙකු බවත් ඔහුට ජිවත් වීමට ඇත්තේ කෙටි කාල සීමාවක් බවත් ඔහුව සතුටින් තැබීමට කටයුතු කරන ලෙසත් පවසා ඇත.
පසුව ආරක්ෂක නිලධාරියා මල් පැළ මිල දී ගත් කාන්තාවගෙන් නිතර නිතර ඡායාරුප ඉල්ලා ඇති අතර එම එවන ලද ඡායාරුප ඇගේ ස්වාමියාගේ දුරකථනයට යැවීමට කටයුතු කර ඇත.ඇගේ සැමියාට ද නිතර නිතර දුරකථන ඇමතුම් ලබා දෙමින් එවන ලද ඡායාරුප සමාජ මාධ්‍යවලට මුදා හරින ලෙස බිය වද්දමින් එසේ නොකිරීමට නම් මුදලින් කප්පම් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා තවත් කාන්තාවන් 20 දෙනෙක්ගෙන් පමණ මෙසේ කප්පම් මුදල් ලබා ගැනීමට බලපෑම් කර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇති බව කියයි.
තර්ජනයට ලක් වූ මෙම යුවල අදාළ සිද්ධිය සම්බන්දයෙන් මාතර කොට්ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත දැනුවත් කර ඇති අතර අදාළ සැකකරු මහනුවර – කටුගස්තොට හල්ඔළුව ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම මහා පරිමාණ කප්පම් සම්බන්ධව ඉදිරියේ දී විමර්ශන කටයුතු කරන බව මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන බව ප්‍රකාශ කරයි.