දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් සියයට 60 ක්, අධික ජන ඝනත්වයක් පවතින සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් නොමැති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ලිට්රෝ සමාගමට නිර්දේශ කර ඇති බව සඳහන් වේ.
ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් ඊයේ (19) කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නිර්දේශය ලබාදී තිබෙනවා.
ඉදිරි මාස තුනේදී ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 120 භාවිතා කරමින් ගෑස් සැපයුම ලබාදිය හැකි බවයි ලිට්‍රෝ සමාගම දැනුම් දී ඇත්තේ.
මේ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකර මෙම තදබදය අවම කිරීමට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.