පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට අනුරාධපුර මහාධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු යුද්ධ හමුදා සෙබළෙකු එකී මනුෂ්‍ය ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට අනුරාධපුර මහාධිකරණයේ ජූරි සභාව ඒකමතිකව තීන්දු කළේ ය.
ඒ අනුව විත්තිකාර හිටපු හමුදා සෙබළා නිදොස් කොට නිදහස් කර මුදා හැරිණි.
මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ නොච්චියාගම, පහමුනේගම පදිංචි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු වන ආනන්ද හෙවත් ජයතිලකගේ සේනක ජයතිලක නමැත්තෙකි.
2004 වසරේ ජනවාරි මස 6 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් මහවැලිතැන්නහිදී පියසේනගේ මද්දුම බණ්ඩාර යන අයට පිහියකින් ඇන ඔහු ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය.
නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා භාර දීමෙන් අනතුරුව මෙම නඩු විභාගය එවකට අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයාව සිටි සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ පැවැත්විණි. නඩු විභාගය අවසන් කරමින් මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා තීන්දු කළේ, පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකරු වරදකරු බව යි.
ඒ අනුව, මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේ ය.
පසුව මෙම මරණ දඬුවම් නියෝගය අභියෝගයට ලක් කරමින් එය බල රහිත කරන ලෙස ඉල්ලා විත්තිකරු අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය සලකා බැලූ අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල අනුරාධපුර මහාධිකරණයට නියෝග කළේ මෙම නඩුව නැවත මුල සිට විභාග කරන ලෙස ය.
අභියාචනාධිකරණයේ එකී නියෝගය අනුව නඩුව යළි විභාග කිරීම සඳහා අනුරාධපුර මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා මහාධිකරණ විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග කරන ලෙසයි.
ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා විත්තිකරු වෙනුවෙන් කළ එම ඉල්ලීමට ඉඩ දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව ජූරි සභාවක් ඉදිරියේ සලකා බැලීමට අධිකරණයේ අවසරය ලබා දුන්නේ ය.
ඒ අනුව පුරා දින පහක් අඛණ්ඩව රැස්වූ මහාධිකරණ ජූරි සභාව ඒකමතිකව තීන්දු කළේ විත්තිකාර හිටපු හමුදා සෙබළා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදාහරින ලෙසයි.
විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා සමග නීතිඥ චතුර ධනංජය රණතුංග මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දුමින්ද ද අල්විස් මහතා පෙනී සිටියේ ය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි ධනංජය වෛද්‍යරත්න මහතා ඇතුළු විසිදෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියහ. (
- අනුරාධපුර – උපාලි ආනන්ද කරුණාදාස විසින් මව් බිම වෙබ් අඩවියේ පලකරන ලද පුවතකි)














































