2023 වසර තුළ මේවනවිට පමණක් මී උණ අසාදිතව රෝගීන් 2,800 දෙනෙක් ලංකාවෙන් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අනාවරණ කර ඇති බව වාර්තාවේ.
ඇතිවී තිබෙන මේම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ, වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය පවසා ඇත්තේ මී උණ රෝගය බැක්ටීරියාවක් මාර්ගයෙන් බෝවන බවයි.
“මේ රෝගය බෝ කිරීමට ඉවහල් වෙන්නේ මීයන්ගේ ශරීරයේ මේ බැක්ටීරියාව හුඟාක් වෙලාවට පවතිනවා. මීයන්ගේ මුත්‍රා මගින් අපවිත්‍ර ජලයට මේ බැක්ටීරියාව මුසුවෙන්න පුළුවන්. මේ විදියට තමා මිනිසාගේ ශරීරයට Leptospirosis කියන බැක්ටීරියාව ඇතුළු වෙන්නේ. කුඹූරු, සමහර දිය කඩිති, ඇළ මාර්ග වගේ තැන්වලින් මී උණ රෝගීන් වාර්තා වෙනවා. අපේ රටේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ මාර්තු සිට මැයි දක්වා. ඒ එක්කම සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මේ රෝගීන් වැඩිවෙනවා. ඒ වෙන්නේ අපේ කුඹුරු ගොවිතැන් සිදුකරන්නේ යල කන්නයේ සහ මහ කන්නයේ. ඒ අතරේ අපිට වැසි ලැබෙනවා. සමහර වෙලාවට ගංවතුර එනවා. එහෙම වුණොත් මේ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.”
මේම තත්වය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ සරසවියේ, වෛද්‍ය පීඨයේ මහාචාර්ය පණ්ඩුක කරුණානායක මහතා.
“උණ එක පාරට වරුවෙන් දෙකෙන් ඉතාම ඉහළ මට්ටමකට නැගලා එන රෝගයක්. උදේ වරුවේ හොඳට ඉඳලා දවල් වෙනකොට උණ පටන් අරන් හැන්දෑ වෙද්දි හරිම අමාරු වෙනවා. ඊට පස්සේ අධික ඇඟපත රුදාව. ඔළුවේ කැක්කුම, කෑම අරුචිය, වමනය වගේ රෝග ලක්ෂණ එක්තරා ප්‍රමාණයකට ඇස් කහ වීම එනවා. ඇහැ රතුවීමත් වෙනවා. ඇහැ කහ වුණේ නෑ, රතු වුණේ නෑ කියලා මේක Leptospirosis නෙමෙයි කියලා හිතන්න එපා. ඊට පස්සේ නොයෙකුත් අවයවවලට බලපාලා සංකූලතා ඇති වෙනවා. හෘදයට, පෙනහළුවලට හෝ වකුගඩුවලට වෙන්න පුළුවන්. ඒවායින් මරණයට පත්වෙන්න පුළුවන්. ඉක්මනින්ම රෝහලට ආවොත් ඉක්මනින්ම බෙහෙත් පටන් ගත්තොත් අපිට ඒ සංකූලතා මඟහැරලා ජීවිත ගණනාවක් බේරගන්න පුළුවන්.”“ගෙවුණු මාස 5 ඇතුළත රෝගීන් 2,800ක් වාර්තා වෙලා තියෙනවා. පහුගිය අවුරුදුවල සාමාන්‍යයෙන් රෝගීන් 6,000 – 8,000 වගේ වාර්තා වුණා. මරණ තාම විමර්ශන මට්ටමේ පවතිනවා.” බව සදහන් කර තිබේ.
ඒ අනුව වසංගත රෝග විද්‍යා සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.














































