අද (27) රාත්‍රියේ තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ හදිසියේ හටගත් ගින්නෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත උපදෙස් ලබා දී ඇත.
ත්‍රිවිධ හමුදාපතිවරුන්ට, කොළඹ දිස්ත්‍රික්ක ලේකම්වරයාට සහ අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් වහා උපදෙස් ලබා දෙන ලෙස ජනපති විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එහි දී උපදෙස් දී ඇත.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ පාර්ශවයන් වෙත මේ වන විට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.
අද රාත්‍රී 08.00 පමණ එහටගත් මෙම ගින්නෙන් නිවාස 50ක් පමණ විනාශ වී ඇති අතර ජීවිත හානි හෝ තුවාල ලැබූවන් මේ වන තෙක් වාර්තා වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ගින්නෙන් තොටළඟ මෝදර උයන මහත් නිවාස සංකීර්ණය අසල කජීමාවත්ත ප්‍රදේශයේ එකපෙළට පිහිටි නිවාස 50ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළේ ගිනි නිවන රථ 12ක් සහ ප්‍රදේශයේ ජනතාවගෙන් ද ලද සහය මත ගින්න සම්පූර්ණයෙන්ම මේ වන විට මැඩපවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.














































