රටේ පැවති වසංගත තත්ත්වය හමුවේ පාසල්, උපකාරක පන්ති මෙන් ම විශ්ව විද්‍යාල ආදී සියලුම අධ්‍යාපන ක්ෂේත්රයන් අවහිර වූ කාල පරිච්ඡේදයක් තුළ දී දරුවන්ට පිහිට වූයේ මාර්ගගත අධ්‍යාපනයයි.
ඒ ඔස්සේ සෑම ගමක් නගරයක් පාසාම සෑම දරුවෙක්ටමපාහේ ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යවන්නේ මෙම මාර්ගගත අධ්‍යාපනය වෙත පිවිසීම සඳහාය.
කුලියක් මලියක් කර එදාවේල ගැටගසා ගන්නා අහිංසක පියා ද කෙසේ හෝ ණයක් වී හෝ තම දරුවාට මෙම ස්මාර්ට් දුරකථනයක් ලබා දෙන්නේ තමන්ට හිමි නොවූ ලොවක සිය දරුවා වැජඹවීමේ අදහසිනි.
මේ අනුව ප්‍රාථමික ශ්‍රේණියේ දරුවාගේ සිට විශ්වවිද්‍යාල සිසුවා තෙක් ම අධ්‍යාපනය ලබන්නේ මෙම ස්මාර්ට් තාක්ෂණය ඔස්සේ වන නමුත් මේ වන විට එය නව පරපුරට පිළිලයක් වී ඇත.
මේ වන විට ලොව පුරා ප්‍රචලිතව පවතින වීඩියෝ ක්‍රීඩා ආදී වැඩසටහන්වලට දරුවන් බොහෝ වශයෙන් ඇබ්බැහි වී ඇති අයුරක් පෙනී යයි. මෙම වීඩියෝ ක්‍රී ඩා හේතුවෙන් පසුගිය දිනවලදී පාසල් දරුවෙක් සියදිවි නසාගෙන තිබෙණ පුවතක් ද අපට අසන්නට දකින්නට ලැබුණි.
දරුවන්ගේ මනස දුරකථනයට සීමා විම හේතුවෙන් ඔවුන්ගේ සිතීමේ හැකියාව දුර්වල වී ඔවුන් සිතුවිලි රහිත රොබෝවරුන් මෙන් ක්‍රියාකිරීමට පෙළඹෙයි.
ඉස්සර දරුවන් තුළ පවතින සහජ හැකියාවන් නිර්මාණශීලී අදහස් අත්වැඩ නමින් එළියට පැමිණෙන අතර වර්තමාන දරුපරපුර තුළින් එම හැකියාවන් ගිලිහී ගොස් ඇති අයුරක් පෙනී යයි.
පෙර කාලයේ දරුවන් බෝලයක් බැට් එකක් රැගෙන ක්‍රීඩා පිටියක් වෙත දිවගොස් කෙළිසෙල්ලම් පාන අතර තවත් විටෙක සරුංගලයක් සාදා එය සුළගේ පාකර එහි හැඩ බලයි.නමුදු වර්තමානයේ දී එවැනි දරුපරපුරක් දැක ගැනීමට නොහැකි තරමට දරුවන්ගේ ළමා කාලය දුරකථනට,නවීන තාක්ෂණයට සීමා වී ඇත.
මේ තත්ත්වය පිළිබඳව සලකා බලා වයස අවුරුදු 18ට අඩු දරුවන් ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වීඩියෝ ගේම් ආදී මාධ්‍යන්ගෙන් බැහැර කිරීමට සහ ඔවුන්ට ඒ වෙත පිවිසීමට බාධා එල්ලවනසේ යම් ක්‍රියාපටිපාටියක් වහාම රජය විසින් සැලසුම් කළ යුතුව ඇත.
දුරකථනයට සහ පරිගණකයට සීමා වී සිතිමේ ශක්තිය අහිමිව ගිය විකෘති මනසින් යුක්ත අනාගත පරපුරක් රටට ඉතිරි උවහොත් එතුළින් රටකට සමාජයකට සිදුවිය හැකි හානිය කෙතරම් ද කිව නොහැකි තරම්ය.එනිසා අදාළ බලධාරීන් විසින් මේ සඳහා සිදුකළ යුත්තක් වේ නම් වහාම ක්‍රියාත්මක විය යුතුව ඇත.
මේ වන විටත් සමාජයක් තුළ හැසිරීමට නොදත් නිර්මාණශිලි සිතුවිලි නොමැති කුලෑටි පරපුරක් දක්නට ලැබෙන අතර තවදුරටත් වැනි අවසනාවන්ත තත්ත්වයන් අප රටට උදා නොවීමට වගබලා ගතයුතුව ඇත.