කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙමින් සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 72ක කාලය තුළ දී ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ මෙන් ම උතුරු සහ දකුණු අන්දමන් මුහුදේ ගැඹුරු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි.
ඊට හේතු වී ඇත්තේ දකුණු තායිලන්ත මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමයි.
එමෙන් ම මේ වන විට මෙම ප්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදෙන පිරිස්වලට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණෙන ලෙසට ද දැනුම්දීම් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අනිද්දා දිනය වන විට අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ගිණිකොණ සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගත විය හැකි බවයි.













































