රත්නපුර ගොඩකවෙල බළංගොඩ පාරේ කිලෝමීටර් 6ක් පමණ ගිය විට හමුවන පල්ලේකුඹුර හන්දියට මදක් එහායින් ගල්කුළුගොඩ නම් ගම්මානය පිහිටා තිබේ.මෙම ගම්මානයේ නිධානයක් ගොඩ ගැනීමට කටයුතු කරන බවට ලැබුණු තොරතුරක් මත පසුගිය විසි වනදා අපගේ තිදෙනෙකුගෙන් යුත් මාධ්‍ය කණ්ඩායමක් එහි ළගා වූහ.අප එලෙස යාමට ප්‍රධානතම හේතුව වූයේ ගොඩකවෙල පොලිසිය සහ විශේෂ කාර්‍ය බලකායේ උදව් උපකාර ඇතිව මෙම නිධානය ගැනීමට කටයුතු කරන බවට ලැබුණ තොරතුර නිසාය.එලෙස ළඟා වූයේ ගොඩකවෙල පොලිසියේ සහ විශේෂ කාර්‍ය බලකායේ උදව් උපකාර ඇතිවය.
එදින රාත්‍රියේ හරියටම 9.45 ට පමණ අප එම ගම්මානයට ළඟා වූයේ ගොඩකවෙල බළංගොඩ මාර්ගයෙනි.එම ප්‍රධාන මාර්ගයේ අදාළ ගම්මානයට අපව රැගෙන යාමට තවත් කිහිප දෙනෙකු පැමිණ සිටි අතර ගම්මානයට ඇතුළුවන ස්ථානය සහ අවට සියලු නිවාසවල වැසියන් නිවෙස්වලින් එළියට පැමිණ සිටි අතර මාර්ගය දෙපසද විශාල ජනතාවක් රැඳී සිටියහ.
අප එතැන් පටන් ගමන් කළ අතුරු මාර්ගයේදී ඉදිරියට යන විට විවිධ ස්ථානවල මෙන්ම හන්දිවල කුඩා කණ්ඩායම් රැස්ව සිටියහ.විශාල පිරිසක් රැස්ව සිටි ස්ථානයක අප නැවතී ඔවුන් සමඟ සුහද කතාබහකට යොමු වූයේ තවදුරටත් කරුණු විමසීම සඳහාය.දැඩි ඝන අන්ධකාරය වුවත් නිවෙස්වල විදුලි ආලෝකය තැනින් තැන දක්නට ලැබුණි.ඒ අතර ජනතාව නිවෙස්වලින් එළියේ සිට විවිධ කසු කුසුවල නිරත වනු අප දුටුවේ අඳුර කපාගෙන පැමිණි යතුරුපැදි කිහිපයක විදුලි ලාම්පු එළිය නිසාය.
අපගේ ගමන් ගත් රථයේ එන්ජිම නැවැත්වූ පසු අපට නැගෙනහිර ප්‍රදේශයේ ටිකක් ඈතින් වන්නට හක්ගෙඩි පිඹින ශබ්දයත්,බෙර ශබ්දයත් ඇසුණි.ඉදහිට ඇසෙන කෑරලෙකුගේ උකුසෙකුගේ ශබ්දය හැර වෙනත් ශබ්දයක් අපට අසන්නට නොලැබුණි.නමුත් ගම්මානයේ තැනින් තැන විදුලි පන්දම් එළි පත්තු විය.ඊට අමතරව ඉද හිට යතුරුපැදියක් හෝ ත්‍රීවීල් රථයක්ද ගමන් කිරීම සිඳු විය.ඒ හැර වෙනත් කිසිඳු හඬක් අපට අසන්නට නොලැබුණි.
ඒ අතරතුර තවත් යතුරුපැදියක් ඉහළ සිට පහළට පැමිණි අතර ඔවුන් ප්‍රකාශ කළේ “ඇති නිධානයක් නෑ.එහි පවත්වන්නේ ශාන්තිකර්මයක්” බවයි.ඔවුන් සඳහන් කළේ එම නිවසට යා මට අවසර තිබෙන බවයි.එසේම එම නිවසේ හිමියන් නිවසටම ඇවිත් එය පරීක්ෂා කර බලන ලෙස ගම්වැසියන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු ප්‍රකාශ කළේය.
අප එහි යාමට සුළු මොහොතකට පෙර ගොඩකවෙල පොලිස් ස්ථානයේ ජංගම මුර රථයද පැමිණ පිටව ගොස් තිබූ බවද අසන්නට ලැබුණි.
ඉන්පසු අප ද එම නිවසට ළඟා විය.අප නිවසට යන විට මග දෙපස විවිධ වයස්වල ගම්වාසී පිරිමි පුද්ගලයන් රැස්ව සිටියහ.නිවස අවට විශාල ජනතාවක් සිටි අතර ඒ සා විශාල ජනතාවක් එම ගම්මානයේ සිටින්නේද යන්න අපටද ගැටලු සහගත විය .
කෙසේ නමුත් නිවස තුළ “තටු” කිහිපයක් තබා තිබූ අතර නිවස හතර කොන “ආරක්ෂා” ඇතුළු ගොක්කොළ සැරසිලිද දක්නට ලැබුණි.මාතර සිට පැමිණි කට්ටඩියන් කිහිප දෙනෙකු සිටින බවද කනින් කොනින් අපට ඇසුණි.මෙවන් ශාන්තිකර්ම,බලිතොවිල් ඕනෑම ගමක ඕනෑම නිවසක තිබීම සාමාන්‍ය පිළිවෙතක් වූ නමුත් ගම්මානයක්ම කළබල වීමට හේතුවක් තිබිය යුතුය.අපට අවශ්‍ය වූයේ එම හේතුව සොයා ගැනීමටයි.
අප ගොඩකවෙලින් පිටත් වීමට පෙර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව විමසු අතර අප දුටු දේ සියල්ලම ඔහු අපට සැල කළේය.අපට ද එය නිවැරදිවම දක්නට ලැබිය හැකි විය.
ගොඩකවෙල පොලිසිය විසින් ලබා දී තිබූ සියලු තොරතුරු නිවැරදි වුවත් එක් තොරතුරක් නිවැරදි නොවීය .එනම් මෙම නිවසේ පොලිස් නිලධාරියෙකු සිටින බවත් , එම පොලිස් නිලධාරියා විසින් කට්ටඩියන් රැගෙන ආ බවත් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් වෙත වාර්තා කර තිබීමයි.නමුත් මෙම නිවසේ එවැනි පොලිස් නිලධාරියෙකු නැති බව ගම්වාසීන් පවසන ලදි.එම ප්‍රකාශය අපගේ සැකයට සහ තවදුරටත් මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා ප්‍රමාණවත් සැකයක් ඇති කිරීමට සමත් විය.
එම සැකය අප සිත තුළ තබාගෙන මෙම ඉඩම සහ වටපිටාව පිළිබඳව කරුණු සෙවීමට උත්සුක විය.නමුත් මෙම ඉඩම පිහිටා තිබෙන්නේ කන්දේ මදක් ඉහළට වන්නටය.මෙම කන්ද ගල්කුළුගොඩ කන්ද බවද කියවිය.මෙහි ගල්කුළක් තුළ නිධානයක් තිබෙන බවත් , එම නිධානයට අයත් පරිවාර නිධාන හතක් තිබෙන බවත් ගම්වැසියන් පවසන ලදි.
ඊළඟට අප අවධානය යොමු කළ අනෙක් කරුණ නම්,මෙසේ මිනිසුන් සියළු දෙනා කලබල වී කුපිත වී සිටින්නේ ඇයි දැයි යන්න පිළිබඳව සොයා බැලීමටය.
අප ඒ සමඟම එම නිවසින් පිට වී නැවත ආ මගම පහළට ගමන් කළේය.එවිට තවත් තරුණ පිරිසක් අප හමුවී ප්‍රකාශ කළේ මෙම නිධානය ගැනීමේ කර්තව්‍යය සිඳුවන්නේ මෙම නිවසේ නොවන බවත් , කන්දේ ඉහළ ප්‍රදේශයක නිධානයක් ගැනීම සඳහා කටයුතු කරන බවත් , ඔවුන්ට එය සැක සහිත බවත් , ඒ සඳහා ඔවුන් කන්ද මුදුනට ගමන් කරන බවත්ය.
ඒ අනුව තරුණ කණ්ඩායම් දෙකක් කන්ද ඉහළට නැගීමට ගමන් ආරම්භ කරන ලදි. මෙම ශාන්තිකර්මයක් යැයි කියා ගන්නා වූ තොවිලය හෝ පැවැත්වූ ඉඩම හදුන්වන්නේ ගුරාගේ වත්ත ආසන්නයේ පිහිටි ගල්කුළුගොඩ බුද්ධදාසගේ ඉඩම ලෙසයි.
2023/05/14 වන දින රාත්‍රී රතු පාට වර්ගයේ කැබ් රථයක් මෙම ප්‍රදේශයට පැමිණ තිබේ. යම් කණ්ඩායමක් හොර රහසේම ගමට පැමිණ තිබුණත් ගම්වාසීන්ට එය දැන ගැනීමට ලැබෙන්නේ රාත්‍රී 1.45 ට පමණය.
මෙම රතු පාට කැබ් රථය එහි එක් මාර්ගයක මඩේ එරී තිබේ .එයට හේතුව මෙම රියදුරාට ගමන් මාර්ගය වැරදී තිබීමයි. එම රථයේ රියදුරා පමණක් සිට ඇති අතර එබැවින් රථය ගොඩගැනීමට නොහැකිව තිබේ.ගම්වාසීන් පැමිණ එම රථය තල්ලු කලත් ගොඩගැනීමය හැකියාවක් ලැබී නොමැත.
ඉන්පසු පැය භාගයකට පමණ පසුව එම ගම්මානයේ නොවන පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු එම කැබ් රථයේ හිමිකරු බව පැවසේ.ඔවුන් සතුව පොළොව ස්කෑන් කිරීමේ යන්ත්‍ර තිබූ බවටද යම් යම් කතාවලදී අපට අසන්නට ලැබුණි.
ඔවුන්ට උදව් කර තිබෙන්නේ මෙම නිවැසියන් හා සම්බන්ධ තවත් කණ්ඩායමක් බවද කනින් කොනින් අපට අසන්නට ලැබුණි.
අප මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමට උත්සුක වූ අනෙක් කාරණාව නම් අවුරුදු දෙකකට පමණ පෙර මෙම ඉඩමේ නිධානයක් ගැනීමට කටයුතු කර තිබුණත් එය ව්‍යර්ථ වී තිබීමයි.අදටත් මෙම ඉඩම තුළ නිදන් වස්තූන් තිබූ බව කියවෙන වළවල් තැනින් තැන දක්නට හැකිය.

මීට පෙර මෙම ඉඩමේ නිධන් හාරා ඇති බව කියැවෙන වලක්.
තවද අපි ඉහතින් සඳහන් කළ පරිවාර නිධන් හතෙන් එක් නිධානයක් තිබෙන්නේ මෙම ඉඩම තුළ බවත් , එම නිධානය ගල් පෙට්ටියක් තුල බහා තිබෙන බවත් කියවේ.
අප මේ පිළිබඳව දින කිහිපයක් පුරා ගවේෂණයක යෙදෙමින් සොයාගත් වැදගත්ම කරුණ නම් එදින පවත්වා තිබෙන්නේ ශාන්තිකර්මයක් හෝ බලි තොවිලයක් නොව නිධානය ගැනීම සඳහා අවශ්‍ය කර තිබූ ශබ්ද පූජාවක් බවයි.
නමුත් බලිතොවිල් හෝ ශාන්තිකර්ම හෝ ශබ්ද පූජා පවත්වන්නේ කෙසේද යන්න අප අධ්‍යනය කර නොමැති බැවින් එය කුමක්ද යන්න තවමත් ගැටලුවක් ඉතිරි කර තිබේ.
කෙසේ නමුත් මහපොළොවේ තිබෙන වස්තූන් ලබා ගැනීම වැරදි හෝ නිවැරදි යැයි අප නොකියමි. අපට අවශ්‍ය වූයේ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පවා නොමඟ ගිය මෙම සිඳුවීම කුමක්ද යන්න නිසි ලෙසම තහවුරු කර ගැනීම පමණි.
ඒ අනුව තවත් මෙම ගමම කළබලයට පත් වීමට හේතුව නම් මෙම ඉඩම තුළ නිධන් ගැනීම සඳහා මීට පෙරද කටයුතු කර තිබීමයි .නමුත් එම කිසිම අවස්ථාවක නිධන් ගොඩගැනීමට හැකියාව ලැබී නොමැත.
මේ අනුව සෑබෑම තොවිලයක් හෝ සැබෑම ශාන්තිකර්මයක් හෝ වෙනත් පූජාවක් මෙම ඉඩමේ පැවැත්වූවත් මුළු ගමම විශ්වාසයෙන් තහවුරු කරන්නේ එය නිධානය ලබා ගැනීමට සිඳුකළ පූජාවක් බවයි.
කෙසේ නමුත් අපට ලැබුණු තොරතුරු වලට අනුව පොලිස් නිලධාරින් හෝ විශේෂ කාර්ය බලකාය හෝ වෙනත් ආරක්ෂක අංශ නිලධාරින් මෙම සිද්ධියට සම්බන්ධව සිටින බවට අපට දක්නට නොලැබුණු අතර අප දුටු එකම දේ නම් සමස්ත ගම්මානයම නිදිවර්ජිතව සිටින බවත් , සමස්ත ගම්මානයම කළබලව සිටින බවත් , සමස්ත ගම්මානයම මෙම සිද්ධිය පිළිබඳව දිගින් දිගටම සොයමින් බලමින් කටයුතු කරන බවත්ය .
එසේම මේ ලිපිය ලියන මොහොත තුළ පවා ගම්වාසීන් සැක කරන්නේ කුමන හෝ අවස්ථාවක නැවතත් පූජාවක් මෙම නිවසේ තිබෙන බවත් , ඔවුන් සිඳු කරන්නේ පූජා , බලි තොවිල් , ශාන්තිකර්මයක් නොව මෙම ඉඩමේ තිබෙන නිධන් වස්තූන් කොල්ලකෑමට අවශ්‍ය පුද පූජා පවත්වන බවයි.
 
	    	



























 
		    


















