වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු පිරිස ස්ථාන මාරු කිරීමේ ක්‍රියාව අධිකරණය විසින් තරයේ හෙළා දකින බව ආණමඩුව මහේස්ත්‍රාත් නිරෝෂා පටබැඳිගේ ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මහේස්ත්‍රාත්වරිය මෙලෙස පැවසූයේ අද දින පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී පැහැරගෙන ගොස් කනත්තක් අසල දමා යාමේ සිදුවීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය .පොලිස් නීති කොට්ඨාසය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබේ. පොලීසියට අපක්ෂපාතීව කටයුතු කරන ලෙස ද පවසා සිටි මහේස්ත්‍රාත්වරිය , ස්ථානාධිපති ආණමඩුව හා පොලිස් අධිකාරි ආණමඩුව විසින් කර තිබෙන ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණය අගය කරන බවද ඇය ප්‍රකාශ කර තිබේ.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පස් දෙනෙකු ස්ථාන මාරු කළ බවට පොලිස් නීති කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දීමක් සිඳු කර තිබෙන බවත් , එම ක්‍රියාව ආණමඩුව ස්ථානාධිපති සිඳු කළ ක්‍රියාවට ප්‍රතිරෝධය දැක්වීමක් බවත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.එම ස්ථාන මාරුවීම් ක්‍රියාව අධිකරණය විසින් තරයේ හෙළා දකින බවත් , නැවත එම ක්‍රියාව නිවැරදි කරතැයි අධිකරණය බලාපොරොත්තු වන බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබේ.පොලිසිය විසින් දැනට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන 35374/2023A අංක දරණ බී වාර්තාව ඉවත් කොට ගෙන නැවත සංශෝධිත බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද , පොලිස් නීති කොට්ඨාසය සිඳු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද මහේස්ත්‍රාත්වරිය පියවර ගත් බව වාර්තා වේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බලා අත්අඩංගුවට පත් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනා ඇතුළු පස් දෙනා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග ලබා දුන් බව ද වාර්තා වේ.
( ලද තොරතුරු මත මෙය වාර්තා කර තිබේ. )














































