වසර 21ක් පුරාවට සංක්‍රමණික නීතිඥ සමාගමක් පවත්වාගෙන යනු ලබන නීතිඥ බන්ඳුල අබේසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ වන විට මෙරට තරුණ තරුණයින් විශාල ප්‍රමාණයක් විදේශ ගතවීම සඳහා වන ඉල්ලුම පිළිබඳව අනාවරණයක් කර ඇත. මෙම සාකච්ඡාව චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන ලදී.
මේ වන විට දිනකට විදේශ ගතවීමට විමසීම් සඳහා එම ආයතනයට පැමිණෙන ඇමතුම් සංඛ්‍යාව 500 – 1000 අතර ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු පවසන ලදී.
බොහොමයක් තරුණ තරුණයින් මේ වන විට මෙරටින් පිටව ගොස් විදේශගතව රැකියාවල නිරතවීමට වැඩි උනන්දුවක් දක්වන අයුරක් පෙන්නුම් කරනු ලබන බවද ඔහු පෙන්වා දෙන ලදී..
මේ සඳහා වඩාත් බලපා ඇති කරුණු වශයෙන් ඔහු සඳහන් කරන්නේ රටේ ඇති දේශපාලන අංශ පිළිබඳව ගොඩනැගී ඇති අවිශ්වාසය සහ මේ වන විට රට තුළ පවත්නා ආර්ථික තත්ත්වය ආදී ගැටලු මත අනාගතය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති විම ආදිය බවයි..
මේ තත්ත්වය මත මේ වන විට බොහෝ පුද්ගලයින් අඩු සුදුසුකම්වලින් විදේශ ගතකර රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් විවිධ වංචනික කටයුතු සිදු කරන බවද සදහන් කරන ලදී.
නීතිඥ බන්ඳුල මහතා පවසන්නේ එලෙස අඩු සුදුසුකම් මත කැනඩාව වැනි රටක විදේශ රැකියා හිමිවන්නේ 01%ක් වැනි ඉතා කුඩා පිරිසකට බවයි.
කෙසේ නමුත් වයස අවුරුදු 38 අඩු පුද්ගලයින්ට විශාල කැපකිරීමකින් සහ ප්‍රංශ භාෂා දැනුම ඇත්නම් රැකියා අවස්ථාවක් ලබාගැනීමේ හැකියාව ඇති බවත් වයස අවුරුදු 30ට අඩු අයෙක් නම් ප්‍රංශ භාෂා දැනුම නොමැති වුවත් යම් මට්ටමක අධ්‍යාපනයක් ඇත්නම් එතුළින් රැකියා අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව ඇති බවද සදහන් කරන ලදී.
වයස වැඩි වීමත් සමග රැකියා ලැබීම සම්භාවිතාව අඩු වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන් අතර කෙසේ නමුත් ඔහු අවධාරණය කළේ විවිධ වංචාකාරයන්ට හසුනොවී නිවැරදි මග ඔස්සේ ගොස් විදේශගතවීමට වගබලාගන්නා ලෙසයි.















































