පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත යනු අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ කතාබහට ලක් වූ පුද්ගලයෙකි. මැතිවරණ සමයේත් ඉන් පසුවත් තමන්ගේ නාමය ප්‍රසිද්ධ වන ආකාරයේ විවිධ ක්‍රියා ඔහු විසින් සිදුකරන ලදී. ඔක්ෂිජන් ප්‍රශ්නයෙන් සහ අරගලයට පහරදීමෙන් ඔහු තව තවත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම චරිතයක් බවට පත්විය. ශ්‍රී ලංකා දේශපාලනයට අවශ්‍ය ප්‍රසිද්ධිය ඔහු ලබාගෙන තිබේ. නමුත් එය අවශ්‍ය ලෙස පවත්වාගෙන යාමට ඔහුට නොහැකිව තිබෙන බව ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා පැවති ඡන්ද විමසීමේදී අනාවරණය වේ.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා පරාජයට පත්ව තිබෙන අතර ඔහු 11 වැනි ස්ථානය ලබාගෙන තිබේ. සභිකයන් 9 දෙනකුගෙන් යුත් අංක 01 දරන ප්‍රාදේශිකයේ ආසන 6ක් දිනාගෙන ඡන්දය ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේග කණ්ඩායමයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම සභික ධූර 3ක් පමණක් ජයගෙන ඇතත් එම සභිකයන් අතරට පැමිණෙන්නට සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාට නොහැකිව තිබේ. ඒ අනුව පෙනෙන්නේ ඉදිරි එන මැතිවරණයකදී ඔහුගේ පරාජය නිශ්චිතවම සිදු විය හැකි බවය.