ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ” ඉන්දු ශාන්තිකර කලාපයට පොදු දැක්මක් , දකුණු ආසියාවට ඇති බලපෑම් ” යනුවෙන් වන කෘතියක් මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වූ බව වාර්තා වේ.එසේ කොළඹ පැවති ඉන්දු – ශාන්තිකර කලාපයට පොදු දැක්මක් ග්‍රන්තය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් ඇය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අභියෝග ජය ගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම වෙදාට වඩා තීරණාත්මක බවයි.
“ඉන්දු – පැසිෆික් කලාපීය ක්‍රමෝපාය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අදහස් සහ දැක්ම ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග බෙදාගන්න කැමැතියි. ලෝකයේ ආර්ථික සංවර්ධනයේ විශාල කොටසකට දායක වන ඉන්දු – පැසිෆික් කලාපය 21 වන සියවසේ භූ දේශපාලනයේ කේන්ද්‍රය වන අතර, වෙනත් කිසිදු කලාපයකට වඩා එය ලෝකයට වැදගත්කමක් උසුලනවා. එය විශේෂයෙන් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ අප සැම දන්නා පරිදි ශ්‍රී ලංකාව ලොව කාර්ය බහුලතම නෞකා මාර්ගයක් ආසන්නයේ පිහිටීම නිසා. ශ්‍රී ලංකාව හා අමෙරිකානු එක්සත් ජනපදය අතර සම්බන්ධතාවය ඉතා පුළුල් සහ ගැඹුරු වන අතර, එහි හදවත වන්නේ ජනතා ප්‍රගතිය සහ සහයෝගීතාව උදෙසා අපේ කැපවීමයි. නෞකා ගමනාගමනයේ නිදහස තුළින් කොළඹ වරාය කලාපයේ වඩාත් කාර්යබහුල වරායක් බවට පත්වී තිබෙනවා. ඒ නිසයි ඉන්දු – පැසිෆික් කලාපයේ නිදහස් නෞකා ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම සඳහා උත්සහයක නිරත වෙන්නේ. විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් ශ්‍රී ලංකාවට ඍජුවම බලපාන බව කිය හැකිය. අමෙරිකානු එක්සත් ජනපදය තනි රටක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ද වෙනවා. ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 11ක් වන වාර්ෂික අපනයන ආදායමින් ඩොලර් බිලියන 2.8ක් හිමිවන්නේ අමෙරිකාවට සිදුකරන අපනයනවලින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය සහායක් අපේක්ෂා කරන මේ මොහොතේ, ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා ආයෝජනය කළ ප්‍රධාන රටවල් සියල්ල වෙතින් නිශ්චිත හා විශ්වාසනීය මූල්‍ය සහතික කඩිනමින් ලැබෙනු ඇතැයි අමෙරිකාව අපේක්ෂා කරනවා. එය ශ්‍රී ලංකාවට නැවතත් ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වීමට සහාය වනු ඇත.”