සංචාරක මණ්ඩල අනුමැතිය ඇති සුරාබදු බලපත්‍ර සහිත හෝටල්වල නවාතැන් ගනු ලබන විදේශීය සංචාරකයින් සඳහා එම සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී ඇත.
සුරාබදු ර.බි.07, සුරාබදු ර.බි.08, සහ බුටික් විලා යන වර්ගවලට අයත් ස්ථානයන්ට ඒ අනුව සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන බවට, නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කර ඇත.
එසේම මෙරට තුළ මේ දිනවල බලපැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් දිවයින පුරා සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා දැමීමට ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
එසේ වුවත්, සෞඛ්‍ය සේවා ජනරාල්වරයා විසින් ජෛව සංචාරක බුබුළු සංකල්පය යටතේ විදේශීය සංචාරකයින් හට ශ්‍රී ලංකාවට පැමිණීමටත් ,සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වල නවාතැන් ගැනීමටත් අවසර ලබා දී ඇත.
මේ නිසා පැමිණෙන විදේශිකයින්ගේ පහසුව සඳහා එම සංචාරක හෝටල් සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අවසර ලබා දී ඇති බවත් සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල් සඳහා එම අවසරය නොමැති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.