කණ්ඩායමක් විසින් පුද්ගලයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී එක් පුද්ගලයෙක් ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
මෙම පහරදීම සිදුකර ඇත්තේ දෙහිවල, රෝහල් පාර ප්‍රදේශයේ පිරිසක් විසින් බව සදහන්වේ.
මෙම පහර දීමට හේතුව ලෙස සදහන්වන්නේ දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයකට අනවසරයෙන් ඇතුළු වීම බව වාර්තාවේ. පසුව ඔහුන් පැනයෑමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා පොලිසියට බාරදී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් ඔහුන් දෙදෙනා රෝහල් ගතකිරීමට කටයුතු කොට තිබේ.
පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එයට අදාල ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සදහන්.
මෙම පිරිස පහර දීම හේතුවෙන් මරණයට පත්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි ඩිල්ෂාන් රංග කුමාර නැමති 27 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තාවේ.
තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක අයෙක් වේ.
පොලීසිය සදහන් කොට ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 99ත් අතර පසුවන කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි.
මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසේ.
දෙහිවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවේ.














































