අරගලය තුළින් මේ වනවිට සමාජයේ දේශපාලන බලවේග, සිවිල් බලවේග මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද මෙරට සක්‍රීය දේශපාලනය සඳහා සම්බන්ධ වී ඇති බවත් ඔවුන්ගේ එකම අරමුණ අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට නැවත ස්ථාවර කිරීම උවත් මේ වනවිට රජය ගෙනයන මර්දනකාරී ක්‍රියාපටිපාටිය හමුවේ එය ක්‍රියාවට නැංවීමේ ගැටලුවක් ඇතිව තිබෙන බව 43 සේනාංක සභාපති කරු පරණවිතාන මහතා අවධාරණය කරයි.
රජය ගෙනයන මර්දනය හමුවේ සර්ව පාක්ශික ආණ්ඩුවක අස්ථාවරත්වය හා මේ මොහොතේ නොබැදි / සම මිතුරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලයුතු හේතු පිළිබඳව සඳහන් කරමින් 43 සේනාංකය පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවකදී ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු පරණවිතාන මහතා…
අද අතරමැදි විසඳුමක් හොයන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම එක හඬින් ඉල්ලා සිටින කාරණාව තමයි අරගලකරුවන් ඉලක්ක කරගනිමින් කරන්නා වූ මේ මර්දනය වහාම නවත්තන්න කියන එක. ඒක සංවිධානය හැටියට අපි සියලු දෙනාම ඉල්ලුවා. විපක්ෂයේ දේශපාලන පක්ෂය ඉල්ලුවා. ආගමික ප්‍රජාව ඇතුළු සිවිල් කණ්ඩායම් ඉල්ලුවා. අරගලයේ නියැලිලා ඉන්න තරුණ කණ්ඩායම්, අරගලකරුවෝ ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ලංකාවේ මේ අර්බුදය සම්බන්ධයෙන් සංවේදීව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් සංවිධානය. ඒ සියලු දෙනාම ඉල්ලා සිටින්නේ මේ අරගලකරුවන් ඉලක්ක කරගෙන යන මේ අසාධාරණ, අයුක්තිසහගත, මර්දනය වහාම නවත්තන්න කියලා. ඒ වගේම තමයි හදිසි නීතිය යොදාගෙන මේ කරන මර්දනය වහාම නවත්තන්න කියන එක. අපි මේ ඉල්ලා සිටින්නේ මේ රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න එපයි කියන කාරණාව නෙවෙයි.
මේ පසුගිය කාලයේ මතුවුණු ජනතා අරගලය ඒක අවසන් වෙලා නැහැ. එය පැහැදිලිවම සමාජ චර්යාය බිඳ වැටීම නිසා ආර්ථිකය බිඳ වැටීම නිසා, ජනතාවගේ පීඩනය උත්සන්න වීම නිසා, ජනතාවගේ පීඩනය උඩට ආපු අරගලයක්. එහෙම නැතුව කවුරුත් චේතනාන්විතව අපරාධ කරන්න ආපු අරගලයක් නෙවෙයි. යම් යම් මුල්‍ය අපරාධ මේ රටේ සිද්ධ වෙච්ච නිසා, ආර්ථික අපරාධ මේ රටේ සිද්ධ වෙච්ච නිසා, ආර්ථික ඝාතනයන් මේ රටේ සිද්ධ වෙච්ච නිසා, පොදු ජනතාව විපතට පත්වීම නිසා පොදු ජන හඬ මතු වෙච්චි අවස්ථාව තමයි මේ අරගලය.
දැන් අරගලකරුවන් ඉලක්ක කරගෙන ඉතාම චිරස්ථීන මර්දනයක් දියත් වෙලා තියෙනවා. රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවයි කියලා ඊනියා ෆැසි මුවාවෙන් ලොකු මර්දනයක් දියත් වෙනවා. අද මේ මර්ධනය දියත් වෙලා තියෙන්නේ කාටද? මේ රටේ මේ ජනතාව දැනුවත් කරපු ස්වාධීන මාධ්‍යකරුවන්ට, සමාජ මාධ්‍ය කරුවන්ට එරෙහිව අද මර්ධනය දියත් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් රටේ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පෙලේ පුවත්පත් මාධ්‍ය ක්‍රියාකාරී තරිඳු උඩුවගෙදර මහතාට. ඔහු යූ ටියුබ් මගින් සහ ලිපි ලේඛන මගින් ජනතාව දැනුවත් කරන සන්නිවේදනය කරන මාධ්‍යකරුවෙක්. ඔහුට ඉදිරිපත් කරලා තියෙන චෝදනාව තමයි රජය විවේචනය කිරීම. ඔහුව නීතිය හමුවේ උසාවියට කැඳවනවා. ඉතින් මේ රටේ රජය විවේචනය කරන්න පුළුවන්නේ. රජය විවේචනය බැහැ කියලා මේ නීතියක් නැහැනේ. ඉතින් අන්න ඒ වගේ ඉතාමත්ම විහිලු සහගත චෝදනා දාලා තියෙනවා. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්දනය කරන්න හදන්නේ අපි දන්න තරමට ජෝසප් ස්ටාලින් මහත්තයා. එහෙම නැත්නම් අර ලංකා බැංකුවේ අත්අඩංගුවට ගත්තු ධනංජය මහත්මයා, අර අරගල භූමියේ හිටපු තරුණයෝ සසිඳු, එරංග වගේ අය. සසිඳු අර පුස්තකාලයේ බලාගෙන හිටපු තරුණයෙක්. ඒ තරුණයාව අත්අඩංගුවට ගන්නවා. ඇත්ත ආර්ථික ඝාතකයෝ, මේ අර්බුදයට රට ඇදලා දාපු, මුල්‍ය පනත් උල්ලංඝනය කරපු, තමන්ගේවගකීම පැහැර හැරපු ඒ කිසි කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ මර්ධනය අද වෙනකනුත් නවත්තලා නැත්නම් අපි කියා සිටිනවා ඒ පසුබිමක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නමින් ඔය ඇත්ත සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සියලුම විපක්ෂයේ පක්ෂ හැමදෙනාම එක හඬින් ප්‍රකාශ කරලා තිබෙනවා මේ මර්ධන වහාම නවත්තන්න කියලා. හැබැයි ඒක කෙරෙන්නේ නැත්නම් ඔය වචනයේ ඇත්ත අවංක සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න බැරිවෙනවා කියන එක අපි කියන්න කැමතියි.
වහාම මේ විහිළුකාර මර්දන ක්‍රියාවලිය නවත්තන්න, මේකෙන් මිනිස්සු තව කෝපයට පත්වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා පැහැදිලිවම ආණ්ඩුවට දැනුම් දීලා තිබෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න. මේ හදිසි නීතිය යටතේ මේ අය අසාධාරණ අත්අඩංගුවට ගැනීම් කරන්න එපා කියලා. අද නැවත වතාවක් හියුමන් රයිට් වගේ සංවිධාන ජනාධිපතිතුමාට ලියුම් ලියලා ප්‍රකාශ කරලා තිබෙනවා මේ කෙරෙන මානව හිමිකම් කඩවීම් ක්‍රියාවලිය වහාම නවත්තන්න කියලා. නමුත් අපට පෙනෙනවා. මේ ඊයේ වෙනකනුත් සමාජ මාධ්‍යකරුවන්, අරගලකරුවන් පස්සේ හඹා යෑම නවත්වලා නැහැ. නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න නම් මේක මූලික කොන්දේසියක්. අපේ සහයෝගය ලබාදීමට කලින් අපි ප්‍රකාශ කළා සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි වෙන්නට නම් මේ මර්දන ක්‍රියාවලිය වහාම නවත්වන්න. මම හිතන්නේ නැහැ කිසිම විපක්ෂයේ දේශපාලන පක්ෂයක් මෙවැනි මර්දන ක්‍රියාවලියක් දියත් කරන ආණ්ඩුවක ඉල්ලීමට කන් දීලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න එයි කියලා.