අලුත් අවුරුදු නැකත් සීට්ටුව.
නවසඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 23 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන ඉරිදා දින, නවසඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය.
අප්‍රේල් මස 12 වන බදාදා දින කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුෂ්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව.
අප්‍රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 14 වන සිකුරාදා පුර්වභාග 08.35 සිට එදින අපරභාග 09.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පුර්වභාග 08.35 ට පළමුව අහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස : එනම් අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 02.59 සිට අපරභාග 09.23 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 03.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල හා විලද මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය.
අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 05.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිස තෙල් ගෑම.
අප්‍රේල් මස 16 වන ඉරිදා පුර්වභාග 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 17 වන සඳුදා පුර්වභාග 06.28 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම.
අප්‍රේල් මස 20 වැනි බ්‍රහස්පතින්දා පුර්වභාග 06.38 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.














































