එක්සත් ලාංකීය කාන්තා පක්ෂ සාමාජිකාවක වන සුභාෂිණී විප්ෆ්ලර් මහත්මිය විසින් යුක්‍රේන යුද්දයට මැදි වී ජීවිතයේ කටුකත්වයට මුහුණපා සිටින පවුලක කතාන්දරය මෙසේ සමාජ මාධ්‍යයට එක්කර ඇත.
ඇය මෙම පවුල පිළිබඳව අධ්‍යයනය කර යුක්‍රේන යුධ ගැටුමෙන් ජන ජීවිතයට සිදුව ඇති බලපෑම මෙසේ වචන බවට හරවා ඇත.
“ආච්චි.
මාසදෙකක පටන් යුක්‍රේන පවුලක්..මගේ රාජකාරියට අයත්.අළුතෙන් පවුලක් ආවම සාමාන්‍යයෙන් කරන නිවසට යාම මම කළේ ටිකක් පහුවෙලා.කාන්තාවෝ හතරයි ළමයි පහයි.වැඩිහිටි කාන්තාව..හරිම පිළිවෙලයි.ලස්සනට ඇඳලා ඉන්නවා.අනිත් තරුණ කාන්තාවෝ තුන් දෙනාම කෘෂ වෙච්ච සිරුරු.බොහොම ඕනාවට එපාවට.ළමයි පස්දෙනාගෙන් තුන් දෙනෙක් පාසලට ඇතුලත් කළා.ඔවුන් ප්‍රාථමික පාසලේ.නැවත වරක් මම ගියේ ඔවුන්ට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම උදෙසා ගිව්සුමක් සුදානම් කරන්න.තාක්ෂණය හා භාෂාව මෙන්ම ගිව්සුම් නීතීය එකට බද්ධ වෙන නිසාම බොහෝ විට අළුතෙන් එන පුද්ගලයන් වැඩි මිල ගිව්සුම් වලට හසුවෙනවා.කාන්තාවෝ තුන් දෙනාට උපකරණ ටික සවි කරලා අන්තර් ජාලය ඔස්සේ මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරලා දෙන්න තවත් දවසක්..එදා තමයි මට වැඩි වෙලාව තිබුණේ.ආච්චිට වයස 60යි.බොහොම තරුණ සුහද පෙනුමයි.එයා විශේෂ දුකකින් නැහැ.ඒත් අනිත් කාන්තාවෝ මාත් එක්ක මේසෙට හිඳ ගත්තා.ආච්චිගේ ජංගම දුරකථනය භාෂා පරිවර්ථනය වෙනුවෙන් සුදානම්..මේ මගේ ලොකු පුතාගේ නෝනා..ඔහු යුක්‍රේන හමුදාවේ මේජර් වරයෙක්.මාස තුනකට පෙර මියගියා.මේ ඔවුන්ගේ නිවුන් දරුවන් දෙදෙනා..දාරියා සහ ව්ලදිස්ලාව් ..ව්ලදිස්ලාව් විනාඩි පහක් වැඩිමල්..2006 වර්ෂයේ ඉපදුනු දරුවන් හිටියේ දුකින්..ඔවුන්ගේ මව නිතර බිමට නමා ගත් හිසින්.මේ මගේ දෙවෙනි දුව..එයා ගුරුවරියක්..එයාගේ සැමියා කැමත්තෙන් යුද්ධෙට ගියා එයත් මගේ පුතාත් එකම සටනේදී මියගියේ.ඔහුත් ගුරුවරයෙක්..මේ ඔවුන්ගේ දුවයි පුතයි..වයස අවුරුදු 8ක හා 10 ක දුවෙක් හා පුතෙක්..බොහොම සුරතල්..මට හිතුණා.අනිත් දුවට එක දුවෙක් අවුරුදු 6 යි.මේ වතාවේ පාසලට අළුතින් භාරදීලා.හැබයි ඇය මාස පහක පමණ ගැබිණියක්.එයාගෙත් සැමියා පුටීන්ගේ රොකට් ලෝන්චර් වලින් මිය ගිහින්.මගේ සැමියත් හමුදාවේ ඉහල නිලධාරියෙක්.ඔහු විශ්‍රාම රැගෙන සිටියදීත් නැවත සේවයට ගියා.ඔහුත් ආපසු නාවොත් අපි හතර දෙනාම වැන්දඹු..මට දරුවන්ගේ මුහුණු දිහා බලනකොට වගේම මේ සුන්දර ගැහැණුන්ගේ මුහුණු අඳුරු වෙලා තියෙන්නේ ඇයි කියලා දැනුනම ගොඩක් දුක හිතුණා.දුක් වේවි රස්සාවල් කරන්න බැහැනේ..සමහර කතා බස් වලදී අපි කඳුළු හංගනවා.කොහොම නමුත් ලොකු ළමයි දෙන්නට පාසලට ඇතුළු වෙන්න තිබුනේ අද-ටිකක් දුර නගරයක ..කලින් ගිය නිසාත් හොඳින් ඉර පායලා තිබුණු නිසාත් මම කිව්වා අපි ඇවිදින්න යමු කියලා..නගරයේ උසම තැනට මම ඔවුන් එක්ක ගියා.එතන තිබුණේ මගේ දියණියන්ගේ පාසැල හා කෞතුකාගාරයක්.පහලින් මුළු නගරයම දකින්න ලැබුණා.ඉහලකට මට ඔවුන්ව එක්කගෙන යන්න හිතුණේ යුද්ධයෙන් පීඩාවෙන් ජිවීත අහිමිව ඇවිත් තම ආදරණියයන්ගේ මතකය එක්ක ඔවුන් ලොකු වේදනාවක් සඟවාගෙන ජිවිතයට මුහුණ දෙනවා.එයට සහනයක් ලෙස.
දාරියා හා වලදිස්ලාව් හිටියේ යම්තාක් ප්‍රබෝධයෙන්.ආච්චි මේ ප්‍රබෝධය දුටුවා.ආච්චිගේ ජංගම දුරකථනයේ නිතර කියන හැමදෙයක්ම පරිවර්ථනය වෙනවා.ඇවිදින අතරේ කියපු දේවල් හැඟීම්බරයි.මේ දරුවෝ පස් දෙනා ගැන මම දුකින් ඉන්නේ.මගේ සැමියත් ආපසු නාවොත් මට හිතහදාගන්න වෙනවා.ඒත් මම මගේ දරුවෝ හා මුණුපුරන් ඔවුන්ගේ තාත්තලා නැති වෙච්ච එක ගැන දුක හංගා ගෙන පවුල ආරක්ෂා කරනවා..මගේ දුවලා..ලේලි ඔක්කොම තරුණ අය.එයාලා මානසිකව දැඩි වේදනාවක් විඳිනවා.ඔවුන්ගේ තරුණ සැමියන් මියගිය නිසා.මම විවාහ වුණේ 21 න්.මගේ පුතා දේහධාරී කරුණාවන්ත කෙනෙක්.අපි සතුටින් ජිවත් වුණා.
පාසලේදී විදුහල්පතිවරයා ඔවුන්ට සැලකුවේ කාලයක් දන්නා අයට වගේ.මේ පාසැල මට හොඳට හුරුයි.කාර්යමණ්ඩලය මා කලක් තිස්සේ දන්නවා..ළමයින්ගේ අයිතිය තියෙන්නේ අම්මට.ආච්චි ට නෙවෙයි…විදුහල්පති වරයා මට කිව්වා..ඔහුට දරුවන්ගේ අම්මා ගේ වේදනාත්මක ආතතිය ගැන කරුණු කියන්නට මට සිදු වුණා.ලියාපදිංචිය..මාසික වාර ප්‍රවේශපත්‍ර හා පාසලට ගෙන ආ යුතු දේ සියල්ල විස්තර කල විදුහල්පති අපිත් සමගම තුන්වෙනි මහලට ගොස් පන්ති කාමරය පෙන්වූවා.පාසැල අවසන් වී තිබුණු බැවින්..පන්තිකාමරයේ විවෘතව තිබු ජනෙල් පියන් විදුහල්පතිම වසා දැමුවා.සමහර විදුලි උපකරණ ඔහුම පරික්ෂා කර නිවා දැමුවා.
දාර්යා හා ව්ලද්සිලාව් හෙට සිට පාසල් යනවා.ආච්චි මගේ වෑන් රථයේ ආපසු වාඩි වුණේ සතුටින්.දරුවන්ද සතුටින් ඉන්න බව දැනුණා.ආපසු නිවසට එන්නේ නිහඬව..ආයෙත් භාෂාව පරිවර්ථනය වුණා.
ඔබට ස්තුතියි.බෙහෙවින්ම..පාසැල විතරක් නෙවෙයි අර කන්දට එක්ක ගිය එකට..එතැනදී මගේ මුණුපුරන් එක්ක ජායාරූපයක් ගත්තට..මට මගේ සැමියාට යවන්න හැකියි.අපි අඩුම තරමේ සමාන්‍ය ජිවිතයට අවතීරණ වෙන්න උත්සාහ කරනවා කියලා හරි ඔහු සතුටු වෙයි.මගේ පුතා..මේ දෙන්නගේ තාත්තා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති..ඔවුන්ගේ අනාගතය සුබ වෙයි…
තම පුතා ,බෑනා වරු දෙන්නා මියගිය යුද්ධයක්..සැමියා නැවත යුද්දයට කැඳවූ යුද්ධයක්..දරාගෙන ආච්චි සුන්දර ලෙස සිනා සෙනවා.මුණුපුරන්ගේ මානසික තත්ත්වය රැකගන්න එයා ශක්තිමත් ව ඉන්නවා..සමාන්‍ය විදියට ඔක්කොම වෙනවා කියලා පේන්න ලස්සනට ඇඳලා ,නිය පාට කරලා පිළිවෙලට ඉන්නවා..හිතින් ඇඬුවත් මුණුපුරන් පස් දෙනාගේ ජිවිත වෙනුවෙන් ඕන දුරක් ගිහින් මුහුණ දෙනවා..අපි හැමදාම අම්මලා ගැන කථා කරනවා..ඒත් පියවරු නැති පවුලක ආච්චි අම්මා කියන්නෙත් ඒ දරුවන් ගේ ජීවිතේම එලිය කරන කෙනෙක්..අපේ රටෙත් යුද්ධය වගේම ලෙඩ රෝග..හැරයාම් ,සියදිවි නසාගැනීම්.කාන්තාවෝ විදේශගත වීම් එක්ක දරුවන් මේ විදියට ආරක්ෂා කරන්නේ ආච්චි අම්මලා..අම්මලා වගේම ආච්චි අම්මලාත් උපහාරයට ලක්වෙන්න ඕන.මේ ආච්චි අම්මගේ ලරිසා…මට ගෙදර එනකොට හිතුණේ පුටීන් ක්රෙම්ලිනයට වෙලා කට මැත දොඩවමින් බෝම්බ දානකොට..එයාගේ බෝම්බ වලින් මැරුණු තම දරුවන්ගේ දරුවන් වෙනුවෙන් ලරිසා බය නැතිව මුහුණ දෙනවා.මිනිස්සු මරණ බියගුල්ලෙකුට වැඩිය ඔක්කොම දුක් දෝමනස්සයන් විඳ දරාගෙන ජිවිත අටක් රැකගෙන අනුන්ගේ රටක..ලරිසා පුටීන්ට වැඩිය ශක්තියෙන් නැගී සිටිනවා”
















































