ශ්‍රී ලංකාවේ කොතැනක බැලුවත් දූෂණය නොවුණු ස්ථානයක් සොයාගැනීමට අපහසුව තිබේ. එම දූෂිත ස්ථාන සේම පුද්ගලයන්ද නැවත නැවත බිහි වීම වැලක්වීමට අවශ්‍ය දර්ශනයන් ස්ථාපනය කිරීමට මෙරට පාලකයන් තවමත් අපොහොසත්ව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානීන්ට සිර දඩුවම් එල්ල වුයේද සොරකම් සම්බන්ධයෙනි.
ඒ ආකාරයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි වන කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් නියම කළ සිර දඬුවම අද (ජන. 11) ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කර තිබේ
සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් අභියාචනා කර තිබුණු අතර එම පෙත්සම් විභාගයෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ යසන්න කෝදාගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දී තිබේ.
2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා තිබුනේ කුසුම්දාස මහානාමය. ඉන් මිලියන 20ක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායක යන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණි.
එම චෝදනාවලට වරදකරු කෙරුණු කුසුම්දාස මහානාම නමැති විත්තිකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයක් නියම කර තිබිණි.
තව ද පියදාස දිසානායක නමැති විත්තිකරුට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කර තිබුණු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අමතරව ඔහුට රුපියල් 50,000ක දඩයක් ද නියම කර තිබිණි.
ඒ අනුව එම දඩුවම් ස්ථීර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.














































