තැන තැන අවලාද නැඟීම නවතා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සංවාද කරමුයි අනුර දිසානායක මන්ත්‍රීවරයා විපක්ෂනායක සජීත් ප්‍රේමදාසට යෝජනා කරනවා.
“අපේ පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියේ තිබෙන ලේඛනයක කොටසක් උපුටාගෙන පුද්ගලික දේපල ගැන සමාජ විරෝධයක් ගොඩනඟන්න මේ දවස්වල සමහරු උත්සහ කළා. අපේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනය පක්ෂ නියෝජිත සමුළුවකින් සම්මත කළේ 1979 දී. ඒක එළි දැක්වූයේ 1980 දී. අදට අවුරුදු 43කට පෙර.
1979 දී ඒ වෙලාවේ ලෝක දේශපාලනය අදට වඩා වෙනස්. ලෝකයේ ශක්තිමත් සමාජවාදී කඳවුරක් තිබුණා. ඒ කඳවුරේ උදවු ආධාර සහිතව ලෝකයේ වමේ ව්‍යාපාරයන් ගොඩනැඟෙමින් තිබුණා. ඒ වමේ ව්‍යාපාරයන් විටෙක සන්නද්ධ ලෙස පවා දේශපාලනය කළා. ඒ යුගයට අනුරූපවන පරිදි වමේ වැඩ පිළිවෙළවල් තිබුණා. අවුරුදු 43කට පසුව මොකක්ද සිදුවෙලා තිබෙන්නේ. සමාජවාදී කඳවුර බිඳ වැටිලා. අලුත් දේශපාලන කඳවුරු නිර්මාණය වෙමින් තිබෙනවා. එක්සත් ජනපදය කේන්ද්‍රකරගත් දේශපාලනය. චීනය කේන්ද්‍රකරගත් දේශපාලනය. යුරෝපය කේන්ද්‍රකරගත් දේශපාලනය. රුසියාව කේන්ද්‍රකරගත් දේශපාලනය ලෙස ලෝකයේ විවිධ තලයේ, විවිධ වර්ගයේ බල කඳවුරු නිර්මාණය වෙමින් තිබෙනවා.
ලෝකය තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉදිරියට ගිහිල්ලා. මිනිසාගේ සිතුම්, පැතුම්, ආකල්ප, බලාපොරොත්තු වේගයෙන් වෙනස් වෙලා. සන්නිවේදනය, තාක්ෂණය පිමි ගණනකින් වෙනස් වෙලා. අද 1980ට වඩා වෙනස් ලෝකයක් තියෙන්නේ.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එක තැන පල්වෙන ගර්හිත දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. අපේ දේශපාලනය යනු ලෝකයේත් සමාජයේත් ආර්ථිකයේත් සිදුවන වෙනස්කම් ඉතා හොඳින් තේරුම් ගෙන, උකහාගෙන, ඊට අනුරූපීවන පරිදි වෙනස්කම් කළ හැකි, නම්‍යතාවයකින් යුතු දේශපාලන ව්‍යාපාරයක්. ඒ තමයි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කියන්නේ. අපි දරකෝටු නොවෙයි. ඛණ්ඩණය නොවී, බිඳීමකට භාජනය නොවී ඉතාමත් හොඳ හැරවුම් ගන්න අපිට පුළුවන්.
අපි 2000දී එදාට අනුරූපී වන පරිදි පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළා. 2015දී අපි නැවත අලුත් තත්වයන්ට ගැලපෙන පරිදි වැඩපිළිවළක් ඉදරිපත් කළා. ඒ ‘දේශයේ හෘදයසාක්ෂිය’ කියලා. ‘රට පිළිබඳ අපේ දැක්ම’ කියලා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. නැවත 2019දී ‘දේශයේ අපේක්ෂාව’ කියලා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඒ ක්ෂේත්‍ර වර්ධනය කරන්නේ කොහොමද කියලා අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා.
ඒ එකක්වත් නොදැක්ක සජිත් ප්‍රේමදාස ට්විටර් ගහනවා 80 එකක් අල්ලගෙන. අනේ සජිත් අප්ඩේට් වෙන්න. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. ඔයාට දේශපාලනය තේරෙන්නේ නැහැ සජීත්.
සජිත් මේ දවස්වල අලුත් තාක්ෂණික වචන පාවිච්චි කරනවා. එහෙම අලුත් දේවල් ඉගෙන ගන්න එක හොඳයි. ඒ වගේම දියුණු දේශපාලනයෙන් අලුත් වෙන්න. සජිත් නියෝජනය කරන්නේ ගතානුගතික දේශපාලනයක. එයාගේ වේදිකාවේ තිබෙන්නේ මඩ, අවලාද. මොකක්ද දියුණු දේශපාලනය කියන්නේ. ඒ ඒ දේශපාලන පක්ෂවල නායකයෝ ජනතාව ඉදිරියේ පක්ෂ වැඩපිළිවෙළ ගැන තවත් නායකයින් සමඟ සංවාදයේ යෙදෙනවා. සජීත් එන්න, අපේ වැඩපිළිවෙලයි ඔයාගේ දේශපාලන දැක්මයි පිළිබඳව විවෘත සංවාදයක යෙදෙමු.
බය වෙන්න එපා මම සහතික වෙනවා සජිත්ට එයාගේ සහෝදරී හොර සල්ලි අච්චුගහපු එක ගැන අහන්නේ නැහැ කියලා. සංස්කෘතික අරමුදලට මොකද වුනේ කියලා අහන්නේ නැහැ. නිවාස අධිකාරියට අනුමැතියක් නැතුව සේවකයින් බඳව ගත්ත එක ගැන අහන්නේ නැහැ. අපි සංවාද කරමු. ජනතාව තේරුම් ගනියි කාටද රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා. තැන තැන අවලාද ගහන එක නවත්වලා අපි සංවාද කරමු” යි අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.














































