“ලංකාවට විදෙස් ආයෝජකයින්ට එන්න කියන්න කලින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න වෙනවා .අපිට දැන් හිතෙනවා ලංකාව ආයෝජනය කරන්න ආව එක ලොකු මෝඩකමක් කියලා . කොහොම හරි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලිඛිතව දැනුම් දීලා තියෙනවා . ඒකෙන්වත් අපිට විසදුමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා . “ යනුවෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු තමාට වුණු අසාධාරණය සම්බන්ධයෙන් රාවණා වෙබ් අඩවිය මගින් කරන ලද කරුනු විමසීමකදී ප්‍රකාශ කරන ලදී.
වසර කිහිපයකට පෙර මෙම ඕස්ට්‍රේලියානු පුරවැසියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ සිට පරිප්පු මෙරටට ගෙනවිත් මෙරට දී සුද්ධ පවිත්‍ර කර ලංකාව තුළ වෙළදපොළට බෙදා හැරීම මෙන්ම නැවත වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කරන තිබේ. එයට ලංකාවේ ආයතනයක් නියෝජිතයා ලෙස තෝරාපත් කර ගෙන තිබුණි. ප්‍රථමයෙන් පරිප්පු පිරිපහදු කිරීමේ කර්මාන්තශාලාව පිළියන්දල ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබුවේ රුපියල් මිලියන සියයක මුදලක් වැය කරමිනි. ඉන්පසු පරිප්පු මෙරටට ගෙන්වීම ආරම්භ කර තිබෙන්නේ සියලු අනුමැති සහිතවය.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ අවධියේ ඕස්ට්‍රේලියානු පුරවැසියන් දෙදෙනා එම හිමිකරුවන් හට වාචික බලය පවරා ඇත්තේ ව්‍යාපාරයට ඉදිරියට කරගෙන යන ලෙසය. අවසන් වරට ඔවුන් පරිප්පු කන්ටේනර් දහයක් මෙරටට එවීමට කටයුතු කර තිබේ. එම කන්ටේනර් ආගිය අතක් නොමැති බවට අනාවරණය වීම හේතුවෙන් මේ සම්බන්ධව සොයාබැලීමේදී තහවුරු වී ඇත්තේ කිසියම් කණ්ඩායමක් විසින් මෙම පරිප්පු කන්ටේනර් තොගය වරායෙන් නිදහස් කරගෙන ඇති බවයි. ඒ අනුව දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනාට දැකගත හැකිව තිබෙන්නේ සිය මුදලින් තැනූ පරිප්පු සුද්ද කිරීමේ කර්මාන්තශලාව ද අතුරුදන්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන තිබෙන බවද ප්‍රකාශ කරයි. ඩොලර් 243,610 ක මුදලක පරිප්පු තොගයක් අතුරුදන්ව ඇති බව එහිදී අනාවරණය වී තිබෙන බවද කිය වේ. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් කොට මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කල බවද ඔවුන් ප්‍රකාශ කරයි .
එහිදී සිදු වූයේ කිසිවෙකුත් විශ්වාස නොකරන දෙයකි. ඒ අදිසි හස්තයකින් එල්ල වූ බලපෑමක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය සිදු කළ නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානයකට මාරු කර යැවීමය. එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය ද අතරමග නවතා දමා තිබේ.
අනතුරුව ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනා පිළියන්දල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඉන් පසු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සමඟ පරිප්පු කර්මාන්තශාලාව පිහිටා තිබූ භූමියට ගොස් ඇත. නමුත් යම් කිසි පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරීන් හට ලබා දුන් දුරකථන ඇමතුමක් මත පොලිස් නිලධාරීන්ට නැවත හැරීමට සිදු විය . නමුත් තම භූමියට අයුතු ලෙස ඇතුළු වී තර්ජනය කළ බව ප්‍රකාශ කරමින් මොවුන්ට එරෙහිව යම් කිසි අයෙකු විසින් පිළියන්දල පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු මෙම පැමිණිල්ල සඳහා පිළියන්දල පොලීසියට ගිය අවස්ථාවේ දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල , මැද , අග සියලු කරුණු නැවතත් අනාවරණය වී තිබේ.
මෙම පැමිණිල්ල විමර්ශනය කරන අතරතුරේ දී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියකගේ පුත්‍රයෙකු පොලීසියට බැන වදිමින් පොලීසිය තුළ මහත් කලබැගෑනියක් සිදු කර තිබුණි . ඔහු ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයෙකු නොවූව ද ව්‍යාපාරය අත්පත් කරගෙන සිටින බව කියන පාර්ශවයෙන් පෙලවහක් සිදු කර ගැනීමට යන නිසාවෙන් අනාගතයේ එම ව්‍යාපාරයේ හිමිකරු ද ඔහු නිසාවෙන් ඔහු සෘජුව මෙයට මැදිහත් වී තිබුණි.ඒ අනුව එම පාර්ශවයෙන් තිබෙන බලවත් දේශපලන සම්බන්ධතා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ගොලු වී ඇති බවට මොවුන් චෝදනා කරයි.
එමෙන්ම මෙම සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත් කර තිබේ. දේශපාලන හෙන්චයියන් මෙලෙස විදෙස් ආයෝජකයින්ගේ මුදල් කඩා වඩා ගැනීම , වත්කම් අත්පත් කර ගැනීම තුළින් විදෙස් රටවල මැවෙන්නේ ලංකාව පිළිබදව වෙනස් ප්‍රතිරූපයකි. මේ සම්බන්ධයෙන් තානාපති කාර්‍යාල ද දැනුවත් කිරීමට ඕස්ට්‍රේලියානු ජාතිකයල්න් දෙදෙනා කටයුතු කර තිබේ. එමෙන්ම මොවුන් දෙදෙනාගේ නීතීඥයන් මාර්ගයෙන් මේ සම්බන්ධව අධිකරණය ද දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. ලංකාවට ඩොලර් අවශ්‍යම අවස්ථාවක මේ ආකාරයෙන් කොල්ල කෑම් සිදු කරන දේශපාලන හෙන්චයියන් කවුරුන් දැයි සෙවීමට භාර දිය යුත්තේ කාට ද ? යනුවෙන් ගැටලුවක් ඇති බව ඕස්ට්‍රේලියානු පුරවැසියන් දෙදෙනා ප්‍රකාශ කරන ලදී.
( ඉහත කරුණු පිළිබදව නිසි විමර්ශනයක් සිදු කොට අදාළ බලධාරීන් දැනුවත් කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමයි. අප වාර්තා කර තිබෙනේ අපට වාර්තා කල කරුනු වන අතර යම් වරදක් තිබේ නම් ඒවා නිවරදි කිරීම සියලුම පාර්ශ්වයන් වල වගකීම වේ. )
( මේ සම්බන්ධයෙන් අරුණ සහ ලංකාදීප පුවත්පත්වල ද වාර්තා පලකර තිබේ..)














































