විරෝධතා අවස්ථාවල කෙරෙන මාධ්‍ය ආවරණවලට අදාළව පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන්නැයි ඉල්ලමින් මාධ්‍ය සංවිධාන කිහිපයක් පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත.
පසුගිය සමයේදී විරෝධතා හා උද්ඝෝෂණ වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් ඉලක්ක කොට ගනිමින් සිදු කරන ප්‍රහාරවල යම් ඉහළ යාමක් දක්නට ලැබුණු නිසා මේ ඉල්ලීම සිදු කරන බව එම සංවිධාන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට ඉකුත් මාර්තු 31 වන දා මිරිහාන, ජුබිලි කණුව මංසන්ධිය අසල පැවති විරෝධතාවක් අතරතුරදී පොලිස් නිලධාරීන් පහර දී ඇතැයි ද එම ලිපියෙන් චෝදනා කර ඇත.
රාජකාරි කටයුතු සිදු කරන අතරතුර මාධ්‍යවේදියෙකුට පහර දීම මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස තමන් තරයේ හෙළාදකින බව ද එහි දක්වා ඇත.
මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම ලිපියෙන් ඉල්ලීමක් කොට ඇත. මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු කර ගැනීම සඳහා සහය වීම නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන්ගේ අත්හළ නොහැකි වගකීමක් බව මාධ්‍ය සමාජය තරයේ විශ්වාස කරන බව එම ලිපියෙන් අවධාරණය කොට තිබේ.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ශාලික විමලසේන ඇතුළු පිරිසකගේ අත්සනින් යුතුව මේ ලිපිය පොලිස්පතිවරයාට යොමු කොට ඇත.
මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදුකරන මෙවැනි ප්‍රහාර තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය වන්නේ යැයි සිය ලිපියෙන් මාධ්‍ය සමාජය චෝදනා නගා තිබේ. මාධ්‍යවේදීන් ඉලක්ක කොට ගෙන චේතනාන්විතව ප්‍රහාර එල්ල කිරීම 2022 මාර්තු 31දා සිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇතැයි ද එම ලිපියෙහි දැක්වේ.
(මවිබිම)














































