මේ වන විට හම්බන්තොට මහ රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් එම රෝහලේ විශේ ෂඥ වෛද්‍ය සායන ඉදිරි සති දෙක තුළ වසා දැමීමට සිඳු විය හැකි බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
හම්බන්තොට මහ රෝහලේ දැනට ඉතිරිව සිටින ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාත් ඉදිරි දෙසතිය තුළ රෝහල හැර යාමට නියමිතව තිබෙන බව සඳහන්. මෙම වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වන විටත් හැරයාමේ ලිපි භාර දී ඇති අතර අනෙක් වෛද්‍යවරා ද ස්ථාන මාරුවක් සඳහා ඉල්ලුම් කර තිබේ. එම ස්ථාන මාරුව නොලැබුණහොත් එම වෛද්‍යවරයා ද සේවය අත හැර යාමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉදිරි දෙසතිය තුළ තම සේවයෙන් ඉවත් වන බව දන්වා ඇති අතර අනෙක් වෛද්‍යවරයා ස්ථාන මාරුවක් ලබා පිටව යාමට සූදානම් බව සඳහන්.
මොවුන්ට හිමි වැටුප් සඳහා අධික බදු අය කිරීම නිසාත් , ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකි නිසාත් මෙසේ වෛද්‍යවරුන් රෝහල අතහැර යන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.
ගර්භනී මවුවරුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මේ වන විට විශාල අර්බුදයකට පත්ව ඇති බවත් , එම ප්‍රතිකාරයන් නිසි පරිදි සිඳු නොවුනහොත් වෙනත් රෝහලකට මාරු කර යැවීමට සිඳු වන බවත් , ළමා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් හිඟ වීම නිසා එම ප්‍රතිකාර ඒකකය ද දැඩි අවධානමකට ලක්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.














































