නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයන්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබේ.
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ‘ වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම ‘ යන තේමාව යටතේ ජුනි මස 22 සහ 23 දෙදින ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වේ.ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේ දී සාකච්ඡා කිරීමට නියමිතය.
දේශගුණික විපර්‍යාස සහ ජෛව විවිධත්වය අහිමිවීමේ සිට කොවිඩ් – 19 වසංගතයේ බලපෑම් , යුද ගැටුම් ඇතුළු රැසකට ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටිති.මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා නව මූල්‍ය ගිවිසුමක අවශ්‍යතාව හදුනාගෙන ඇති ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් සමුළුව සඳහා සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනාවක් සිදු කර තිබේ.
බහුපාර්ශ්වික මූල්‍ය අංශය ප්‍රතිසස්කරණය කිරීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන කාබන්වලින් තොර , ගෝලීය ආර්ථිකයකට මාවතක් තැනීම සඳහා හවුල් දැක්මක් ස්ථාපිත කිරීම සමුළුවේ තවත් අරමුණකි.
නවදිල්ලියේ පැවැත්වීමට නියමිත G-20 නායකයින්ගේ 18 වන සමුළුව , නිව්‍යෝර්ක් හි පැවැත්වීමට නියමිත තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ඩුබායි හි පැවැත්වීමට නියමිත COP -28 සමුළුව ඇතුළු ඉදිරි වසරේ ජාත්‍යන්තර දින දර්ශනයේ ප්‍රධාන සාකච්ඡා සහ සමුළු සමඟ බ්‍රිජ්ටවුන් මුලපිරීම ඇතුළු විවිධ න්‍යායපත්‍ර ගණනාවක් සම්බන්ධ කිරීමට සත්කාරක රට ලෙස ප්‍රංශය ප්‍රයත්න දරයි.
රාජ්‍ය නියෝජිතයින් , ජාත්‍යන්තර සංවිධාන , සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සන්ධානයක් ගොඩ නගමින් , සාමූහික දැක්මක් තුළ තිරසාර අනාගතයක් සඳහා අවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීම මෙම සමුළුවෙන් අවධාරණය කෙරේ.
ඉදිරි පරම්පරාවන් සඳහා යහපත් අනාගතයක් ගොඩනැගීමේ දී සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්ගම අවධාරණය කරමින් , සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කරන අතර අතීත ජයග්‍රහණ අභිබවා යමින් ආර්ථික , සමාජීය සහ පාරිසරික ප්‍රාග්ධන පෝෂණය කිරීමේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට මෙම සමුළුව මනා පිටිවහලක් වනු ඇත.
( ජනාධිපති මාධ්‍ය ඒකකය )