ඊයේ (25) බගවන්තලාව ප්‍රදේශයේ තම දරුවාට ආහාර ලබා දෙමින් සිටිය දී මවට ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ආහාර ගනිමින් සිටි සිඟිත්තියගේ උගුරේ ආහාර සිර වී සිඟිත්තිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
26 හැවිරිදි මව තම දියණියට ආහාර ලබා දෙමින් සිටිය දී මවට එකවරම අපස්මාරය රෝගය වැළදී තිබේ. එම අවස්ථාවේ ආහාර ගනිමින් සිටි සිඟිත්තියගේ උගුරේ ආහාර සිරවීමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
සිඟිති දියණිය තම මව බදාගෙන බිම වැතිරී සිටින විට අසල්වාසීන් විසින් දෙදෙනාම රෝහල් ගත කිරීමට කටයුතු කළ ද රෝහල් ගත කරන අවස්ථාවේ දී දැරිය ජීවිතක්ෂයට පත්ව සිටි බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
ජීවිතක්ෂයට පත් වූ දැරියගේ මෘත දේහය පශ්චාත් මරණ කටයුතු සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කර තිබේ.