මේ මොහොතේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නේ නැති බවට නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත.
සිරිල් ගාමිණි පියතුමන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙසට නියෝගයක් නිකුත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන ලද පෙත්සම අද (08) දිනයේ සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
සිරිල් ගාමිණී පියතුමන් විසින් පසුගිය 03 වනදා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර සිටියේ, පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරේෂ් සලේ විසින් කරන ලද පැමිණිල්ලේ විමර්ශන අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බලා ඇත.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස පියතුමන්ට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් අතර එහිදී උන්වහන්සේ ඒ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.
අනතුරුව පසුගිය 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තම නීතිඥයින් මාර්ගයෙන් ලිපියක් මගින් දන්වා තිබුණේ මේ වන විට තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති හෙයින්, ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එදින නොපැමිණෙන බවයි.
ඒ අනුව අද දිනයේ අදාළ පෙත්සම නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ සිරිල් ගාමිණී පියතුමන් මේ මොහොතේදී අත්අඩංගුවට නොගන්නා බවයි.















































