බස්නාහිර- දකුණ කොට්ඨාසයේ පොලීසියක ස්ථානාධිපතිවරයාගේ දූෂිත ක්‍රියා පිළිවෙත හේතුවෙන් පොලිස් පොඩ්ඩෝ රැසක් බොහෝ පීඩාවට පත් වී තිබෙන බව වාර්තා වේ. ස්ථානාධිපතිවරයාට අවශ්‍ය පලතුරු එළවළු වර්ග ගෙනැවිත් දීමට නියෝග කිරීම මේ වන විට එම පොලිසිය තුළ ප්‍රචලිතව තිබේ. ඔහුගේ කාර්යාලයේ තිබෙන ශීතකරණය පිරවීම රාජකාරියට වඩා උතුම් දේවකාරියක් වශයෙන් සිදු කිරීමට පොලිස් පොඩ්ඩන්ට සිදුව ඇත.
පසුගිය දිනක සැරයන්වරයකු රුපියල් 2,500ක තම වැටුපෙන් පලතුරු ගෙනැවිත් දී තිබුණේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමට අකමැති නිසාවෙනි. පලතුරු ගෙනැවිත් දෙන විට තවත් නිලධාරීන් තිදෙනෙකු එම අවස්ථාවේ කාර්යාල කාමරයේ සිටි බව වාර්තා වේ.
එසේම රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ නිවසේ රැකියාව කරන සේවකයෙකු සොරකම් කරන ලද ව්‍යාජ චැසි අංක සහිත යතුරු පැදියක් සමඟ පොලිස් රථ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම යතුරු පැදිය සම්බන්ධව සටහන් යොදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට තිබියදී දේශපාලඥයාගේ දුරකථන ඇමතුමක් මත යතුරු පැදිය මුදාහැරීමට නියෝග කර තිබුණේය.
කෙසේ නමුත් රථවාහන ස්ථානාධිපතිවරයා එයට විරෝධය දක්වා තිබුණේය. රථවාහන අංශ ස්ථානාධිපතිවරයා රාජකාරි අවස්ථාවකට බැහැරට ගිය විට ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ අත්සන යොදා යතුරුපැදිය මුදාහැරීමට පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබේ. ස්ථානාධිපතිවරයාගේ ගෝරනාඩුව හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයා අත්සන යෙදීමට පියවර ගත්තේ ඔහුගේ ආධුනික තත්වය හේතුවෙන් බවද කියැවේ. ස්ථානාධිපතිවරයාට උදේ සහ දවල් ආහාරය හිටපු අමාත්‍යවරියකගේ නිවසෙන් ලැබෙන බව මුළු පොලිසියම ඉතාම හොදින් දන්නා බව ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම පොලිසියේ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාර බිල්පත අනිකුත් පොලිස් ස්ථාන සමග සැසඳීමේ දී රුපියල් 130 කින් පමණ වැඩි වීම හේතුවෙන් නිලධාරීන් බොහෝ කලකිරීමට පත් වී තිබෙන බවද වාර්තා වේ. එම පොලිස් භෝජනාගාරය මගින් බාහිර පුද්ගලයන්ට ආහාර විකිණීම රහසේ සිදුවන බවද වැඩිදුරටත් වාර්තා වන අතර ලබන්නාවූ ලාභය බෙදීයන අයුරු ගැටලු සහගත වී තිබෙන බවද කිය වේ.
මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කරන පොලිස් නිලධාරියා මීට පෙර භෝජනාගාර පාලක ලෙස කටයුතු කළ පුද්ගලයා වීම ද විශේෂ දෙයකි. එයට හේතුව නම් ඔහු භෝජනාගාර පාලක ලෙස කටයුතු කරන අවධියේ රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකුය.
භෝජනාගාර පාලකයකු ව සිටී නිලධාරියකු රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් භෝජනාගාරයේ හිඟවීම හේතුවෙන් ඔහු පුද්ගලික ණයක් ලබාගෙන එය පියවා ඔහු විසින්ම ස්ථාන මාරුවක් ඉල්ලා පොලිසියෙන් පිටත්ව ගොස් තිබුණි. ඔහුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවීමට සිදුව තිබුණේ ස්ථානාධිපතිවරයාගේ මවගේ හත් දවසේ දානයට භෝජනාගාර මුදල් සහ භාණ්ඩ රැගෙන ගොස් ස්ථානාධිපතිවරයා නැවත නොගෙවීම හේතුවෙනි. මෙම පොලිස් ස්ථානය මේ වන විට කෝලම් මඩුවක් වී හමාරය. මේ පිළිබඳව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කළ ද කිසිදු විමර්ශනයක් සිදු නොකිරීම ගැටලු සහගත බව නිලධාරීන් පවසයි. මෙම පොලිසියේ දූෂිත ක්‍රියාවන්ට එරෙහි වන ඕනෑම අයෙකුට ස්ථාන මාරුවීම් ලැබෙන බව දන්නා හෙයින් නිලධාරීන් මානසික පීඩනය දරාගෙන සිටීමට හුරු වී තිබේ.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාණෙනි, මේ ඔබගේ අවධානයටයි. මෙම ගැටලුවලට නිසි විසඳුමක් ලබාදෙනතුරු අප විමසිල්ලෙන්..














































